චීනයේ පොහොර කම්හලක පිපිරීමක්



නැගෙනහිර චීනයේ රසායනික පොහොර කම්හලක සිදුවුණු අධි බලැති පිපිරීම් දෙකකින් 44 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 640 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ කෙරුණාහ.

පුපුරා ගියේ යැංචෙන්ග් පළාතේ පිහිටි පොහොර කම්හලකි. මෙම කම්හල ‘ටියැංජියැනී’ පෞද්ගලික සමාගමට අයත් රසායනික කම්හල්වලින් එකකි. පිපිරීම සිදුවී ඇත්තේ චීනයේ වේලාවෙන් දහවල් 2.50 ට පමණය.

පිපිරීම සිදුවූයේ පොහොර කම්හලේ රසායනික ද්‍රව්‍ය ගබඩාවේය. ගින්න හටගත්තේ කෙසේදැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පැවැසෙයි. ඊයේ දහවල් සිදුවුණු ප්‍රධාන පිපිරීමෙන් පසු තවත් කුඩා පිපිරීම් දෙකක් ද හට ගැණින.

තුවාල ලබා රෝහල් ගත කළ 640 දෙනාගෙන් 39 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පිපිරීමත් සමඟ හටගත් ගින්න කම්හල පුරා වේගයෙන් පැතිරෙන්න විය. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනකු ගින්නට හසුවුණු කම්හල් සේවකයන් යැයි පැවැසෙයි. මෑත කාලයේ චීනයේ සිදුවුණු දරුණුතම ව්‍යසනය මෙය යැයි ද පැවැසෙයි.

චීන භූ විද්‍යාඥයන් පසුව කියා සිටියේ, කම්හලේ සිදුවුණු පිපිරීම අති ප්‍රබල පිපිරීමක් බවත්, එය රික්ටර් පරිමාණයේ ඒකක 2.2 ක් සටහන් කළ බවත්ය. යැංචෙන්ග් කම්හල පිපිරී යද්දී, ඒ අවට පිහිටි වෙනත් කම්හල්වලට ද හානි සිදුවිය. ඇතැම් කම්හල්වල වීදුරු සුනුවිසුණු වූ බව ද වාර්තා වේ.

රසායනික ද්‍රව්‍ය සමඟ හටගත් ගින්න පාලනය කිරීමත් නිවා දැමීමත් අසීරු කටයුත්තක් වූ නමුත් ගිනි නිවන භටයන් වහා ක්‍රියාත්මක වී පැය කීපයක් ඇතුළත ගින්න නිවා දැමීමට සමත් වූ බව ද පැවැසෙයි.  අසල්වැසි ප්‍රාන්තවලින් ද ගිනි නිවන භට කණ්ඩායම් ගින්න නිවා දැමීමට පැමිණි බව චීන පුවත් සේවා සඳහන් කරයි. ගිනි නිවන භටයන්ට සහාය දීමටත්, තුවාලකරුවන් ඉවත් කිරීමටත් හමුදාවේ සහාය ලබා ගැණින.

බීජීංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS