චීන ව්‍යාපෘති වෙනස් කරන්නේ නෑ



පසුගිය රජය චීනය සමඟ එක් වී ආරම්භ කළ ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපෘති නවත්වන්නේ හෝ වෙනස් කරන්නේ නැතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

පාකිස්තාන අගමැති ඉම්රාන් මෙසේ කියා සිටියේ චීන විදේශ ඇමැති වංග් ලී හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය. එම ව්‍යාපෘති හරහා චීනය සහ පාකිස්තානය අතර මිත‍්‍රත්වයත් සහයෝගීතාවත් වර්ධනය වනු ඇති බව අගමැති ඉම්රාන් ඛාන් වැඩි දුරටත් කියා සිටී.

චීන විදේශ ඇමැතිවරයා පාකිස්තානයේ තෙදින සංචාරයකට පැමිණියේ පසුගිය සති අන්තයේය. චීන ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද විදේශ ඇමැතිවරයා සමඟ පාකිස්තානයට පැමිණ සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අගමැති නවාස් ෂරීෆ්ගේ පසුගිය රජය සේම, ඉම්රාන් ඛාන්ගේ නව රජය ද චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් චීන විදේශ ඇමැතිවරයා සිය සතුට පළ කර ඇතැයි ද වාර්තා වේ. චීන සංචාරයක් සඳහා පැමිණෙන්නැයි චීන රජය වෙනුවෙන් විදේශ ඇමැතිවරයා අගමැති ඉම්රාන් ඛාන්ට ආරාධනා කළේ යැයි ද වාර්තා වේ.

ඉම්රාන් ඛාන්ට පෙර බලයේ සිටි අගමැති නවාස් ෂාරීෆ් චීනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇත්තේ, චීනයේ සහාය ඇතිව පාකිස්තානය පුරා යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමටය. ආරම්භයේදී එම ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 46 ක් විය. දැන් එම වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 62 කි.

පාකිස්තානය නව ලොවට විවර කරමින්, යටිතල පහසුකම් නංවා ජන ජීවිතය උසස් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ යැයි පැවැසිණි. ඒ සමඟ පාකිස්තානය සහ චීනය අතර මිත‍්‍රත්වය ශක්තිමත් වුණැයි ද පැවැසිණි.

ඉම්රාන් ඛාන් විපක්ෂ නායකයා ලෙස චෝදනා නගන්න වූයේ එම චීන ව්‍යාපෘති පාකිස්තානයට දැරිය නොහැකි බරක් බවත්, එම ව්‍යාපෘති නිසි ක‍්‍රමවේදයකට හෝ පිළිවෙළකට සිදු කර නොමැති බවත්ය. තමා අගමැති ධුරයට පත් වීමෙන් පසු අනවශ්‍ය වියදම් කප්පාදු කරන බව ද ඉම්රාන් ප‍්‍රතිඥා දී තිබුණි.

කෙසේ නමුත් චීන විදේශ ඇමැති හමුවීමෙන් පසු එම අදහස වෙනස් කර ගැනීමට ඉම්රාන්ට සිදුවී ඇති බව පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS