චීන එන්නත් ලක්ෂ 430 ක් ලොව පුරා



චීන සමාගමක් වන ‘සිනෝෆාම්’ සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ එන්නත මේ වනවිට ලොවපුරා ලක්ෂ 430 කට ලබා දී ඇතැයි චීනයේ මධ්‍යම පුවත් සේවය (සී.සී.ටීවී) වාර්තා කර තිබේ.

චීනයේ සිටින ලක්ෂ 340කට ද ඇතුළුව මෙලෙස ලක්ෂ 430කට එන්නත ලබා දී ඇතැයි එම පුවත් සේවය වාර්තා කළේය.

ලබන වසර (2022) අවසන් වනවිට කෝටි 400කට ආසන්න එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇතැයි ද ‘සිනෝෆාම්’ සමාගම උපුටා දක්වමින් සී.සී.ටීවී පුවත් සේවය වාර්තා කළේය.

චීනය මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නත් 16කට සායනික අත්හදා බැලීම් සඳහා අවසර ලබා දී තිබෙන අතර ඉන් එන්නත් හයක් තෙවැනි අදියරේ අත්හදා බැලීම්වලට පිවිස ඇතැයි චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනාධිකාරිය සඳහන් කරයි.

‘කොවිඩ්-19’ එන්නත් නිෂ්පාදනය සඳහා මේ වනවිට නිෂ්පාදන යාන්ත්‍රණ මෙහෙයුම් 18ක් ස්ථාපිත කර ඇත. චීනයේ ජාතික වාර්ෂික ‘කොවිඩ්-19’ එන්නත් නිෂ්පාදන ධාරිතාව මේ වසර අවසන් වනවිට කෝටි 200ක් වනු ඇතැයි ද ලබන වසර අවසන් වනවිට එය කෝටි 400ක් වනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනයේ එන්නත් කර්මාන්ත සංවිධානයේ සභාපති ෆෙන් ඩූජියා පැවැසීය. කෝටි 400ක් යනු ලෝකය අවශ්‍ය එන්නත් ප්‍රමාණයෙන් සියයට 40ක් ආවරණය කිරීමක් යැයි ද හෙතෙම කීය.

චීනයේ තවත් එන්නත් නිෂ්පාදන සමාගමක් වන සිනෝවැක් බයෝටෙක් සමාගම පසුගිය සතිය වනවිට දිනකට එන්නත් මාත්‍රා මිලියනයක් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇතැයි ද වාර්තා විය. චීන විදේශ අමාත්‍යාංශයට අනුව චීනය මේ වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් මාත්‍රා සපයා ඇති අතර රටවල් 22කට එන්නත් මාත්‍රා අපනයනය කරයි. විදෙස් නායකයන් අට දෙනකු චීනයේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගෙන ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

චීනය මේ වනවිට ‘කොවිඩ්-19’ සඳහා ඖෂධ 22කට අනුමැතිය ලබා දී තිබෙන අතර ඉන් බොහෝමයක් මේ වනවිට සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. ඊට අමතරව චීනය මේ වනවිට දෛනිකව ආකාර 54ක නව කොරෝනා වයිරස පරීක්ෂණ කට්ටල මිලියන 24ක් නිෂ්පාදනය කරන බව ද සී.සී.ටීවී. පුවත් සේවය වාර්තා කළේය.

ග්ලෝබල් ටයිම්ස් ඇසුරිනි 


RECOMMEND POSTS