ඝාතකයාට අන්තවාදී අදහස් ප‍්‍රචලිත කරන්න දෙන්නේ නෑ



පැවැත්වීමට නියමිත නඩු විභාගය හරහා ක‍්‍රයිස්ට්චර්ච් ඝාතකයාට සිය අන්තවාදී අදහස් ප‍්‍රචලිත කිරීමට කිසිසේත් ඉඩක් නොදෙන බවත්, ඝාතකයාගේ නම පවසමින් තමන් ඔහුට ප‍්‍රසිද්ධියක් ලබා නොදෙන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ප‍්‍රතිඥා දී ඇත.

නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකට කඩා වැදී වෙඩි තැබීම කළේ  ඕස්ටේ‍්‍රලියානු ජාතික 28 හැවිරිදි බ‍්‍රැන්ටන් ටැරන්ට් නමැත්තාය. ඔහු කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 50 කි. තවත් 40 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව පැවැසෙයි.

ජීවග‍්‍රහයෙන් අල්ලා ගත් බ්‍රෙන්ටන් ඉකුත් සෙනසුරාදා (16) ක‍්‍රයිස්ට්චර්ච් දිස්ති‍්‍රක් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර පුද්ගල ඝාතන චෝදනා ඔහුට එල්ල විය.

තවත් චෝදනා රැසක් බ්‍රෙන්ටන් ටැරැුන්ට්ට ගොනු කිරීමට නියමිත බව ද පැවැසිණි. ඒ අනුව ලබන 5 වැනිදා තෙක් බ්‍රෙන්ටන් ටැරැන්ට් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. බ්‍රෙන්ටන් කියා සිටියේ අධිකරණයේ දී තමන්ට නීතීඥ සහාය අවශ්‍ය නොවන බවත්, තමන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්ය. බ්‍රෙන්ටන් තනිවම අධිකරණය හමුවේ පෙනී සිටිමින්, ඔහුගේ ඝාතන සාධාරණීකරණය කරමින්, සුදු අන්තවාදී අදහස් ප‍්‍රචලිත කිරීමට උත්සාහ ගන්නා බවට බියක් නිර්මාණය වී ඇත.

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ප‍්‍රතිඥා දෙමින් පවසා ඇත්තේ බ්‍රෙන්ටන් ටැරැුන්ට්ට සිය අන්තවාදී අදහස් ප‍්‍රචලිත කිරීමට ඔහුගේ නඩු විභාගය හරහා වේදිකාවක් නිර්මාණය නොකරන බවත්, තමන් සතු බලය පාවිච්චි කරමින් කෙසේ හෝ එය වළක්වන බවත්ය.

බ්‍රෙන්ටන් ටැරැන්ට් දක්ෂිණාංශික අදහස් අදහස් ඇත්තෙකි. ඝාතන කිරීමට පෙර, බ්‍රෙන්ටන් ටැරැන්ට් එම ඝාතන සිදු කරන්නේ ඇයිදැයි පෙන්වා දෙමින්, පිටු 74 කින් සමන්විත විශේෂ ලියවිල්ලක් ට්විටර් සමාජ ජාල ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර තිබේ. එයින් පිටපතක් නවසීලන්ත අගමැතිනියට ද යැවීමට බ්‍රෙන්ටන් කටයුතු කළේ යැයි ද පැවැසෙයි.

වෙලිංටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS