ගෞතමාලාවට නව ජනපති අලෙහැන්ද්‍රෝ ජියාමෙටී



මධ්‍යම ඇමෙරිකාවට අයත් ගෞතමාලාවේ ජනපතිවරණයේ දෙවැනි වටයෙන් ‘වාමෝස්’ පක්ෂය නියෝජනය කළ අලෙහැන්ද්‍රෝ ජියාමෙටී ජයග්‍රහණය කළේය.

දෙවැනි වටයේ දී, අලෙහැන්ද්‍රෝ ජියාමෙටීගේ ප්‍රතිවාදියා වූයේ හිටපු ජනපති ආර්යාවක වන සැන්ඩ්‍රා ටොරේස්ගෙනි. ජියාමෙටී සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිද්දී, ටොරේස්ට ලබා ගැනීමට හැකිවූයේ සියයට 40 ක ප්‍රතිශතයක් පමණි.

ගෞතමාලාවේ ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ පසුගිය ජූනි 16 වැනිදාය. ඊට අපේක්ෂකයෝ 19 ක් ඉදිරිපත් වූහ. ඔවුන් කිසිවකුටවත් සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය.

ජනපති ධුරයේ දෙවැනි වටය පැවැත්වූයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් ජියාමෙටී සහ සැන්ඩ්‍රා ටොරේස් අතරේය. මෙවර ජනාධිපතිවරණයේ දී රටේ ආරක්ෂාව සහ අපරාධ මැඩලීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් තරාතිරම නොලබා අපරාධකරුවන්ට දඬුවම් දී අපරාධ මැඩලීමටත් තමන් පියවර ගන්නා බව ජියාමෙටීගේ ඡන්ද පොරොන්දුය.

අලෙහැන්ද්‍රෝ ජියාමෙටී පසුගිය වසර කීපයේ එකිනෙකට වෙනස් දේශාපලන පක්ෂ හතරකින් ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ඇත. ජියාමෙටී, පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ 2007 ජනපතිවරණයටය. ඉන්පසු 2011, 2015 වසරවල පැවැත්වුණු ජනාධිපතිවරණයට ද ජියාමෙටී, ඉදිරිපත් වුවත් ඔහුට අත්වූයේ පරාජයකි. 2006 දී, ගෞතමාලා බන්ධනාගාර කටයුතු සම්බන්ධ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අලෙහැන්ද්‍රෝ ජියාමෙටී, ජනපති ධුරය බාර ගන්නේ, 2020 වසරේ ජනවාරියේ සිට යැයි ගෞතමාලා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගෞතමාලා නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS