ගුවන්ගත වෙද්දී තාප්පයක හැපිලා



ඩුබායි බලා යෑමට ගුවන්ගත වුණු ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් ගුවන්තොටුපොළ කෙළවරේ තාප්පයක හැපී ඇති බවත්, නියමුවන් ඒ බව දැනගෙන ඇත්තේ යානය පැය 3 ක් පියාසර කිරීමෙන් පසුව බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ගුවන්තොටුපොළ කෙළවර පිහිටි තාප්පයේ හැපී හානි සිදුවූයේ ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයේ අංක 9-611 දරණ බෝයිං ගුවන් යානයයි. මගීන් 130 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 6 දෙනකු ද සමඟ ගුවන් යානය ඩුබායි බලා යෑමට ගුවන්ගතවී ඇත්තේ දකුණුදිග ඉන්දියාවේ ට‍්‍රයිචී නුවර ගුවන්තොටුපොළෙනි.

තාප්පයේ ගැටීමෙන් යානයේ පහළ කොටසට බරපතල ලෙස හානි සිදුවී තිබුණි. යානය තාප්පයේ හැපී ගෙන ගුවන්ගත වූ බවක් නියමුවන් දෙදෙනා දැන සිට නැත.

යානය තාප්පයේ ගැටී, පියාසර කරන බව ට‍්‍රයිචී ගුවන්තොටුපොළ බලධාරීන් දැනගෙන ඇත්තේ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මගිනි. ගුවන් තොටුපොළ බලධාරීන් වහා ඒ බව යානයේ නියමුවන්ට දන්වද්දී, නියමුවන් දෙදෙනා එය අසා පුදුමයට පත් වී ඇත.

ට‍්‍රයිචී ගුවන්තොටුපොළ බලධාරීන් නියමුවන් අමතද්දී, යානය පැය 3 ක් පුරාවට පියාසර කරමින් තිබුණි. බලධාරීන් නියමුවන්ට සිදුවී ඇති දේ දන්වා, උපදෙස් දී ඇත්තේ යානය වහා මුම්බායි නුවර වෙත පියාසර කර, මුම්බායි ගුවන්තොටුපොළට ගොඩබස්සන ලෙසය. නියමුවෝ එම උපදෙස් අනුව කි‍්‍රයා කළහ.

මුම්බායි ගුවන්තොටුපොළට යානය ගොඩබෑමට පැමිණෙද්දී, ගුවන්තොටුපොළ බලධාරීන්, ගිනි නිවන ට‍්‍රක් රථ සහ ගිලන් රථ පවා සීරුවෙන් තබා තිබුණි. ගුවන් යානයේ රෝදවලට හානියක් වී ඇතැයි බියෙන් එය ගුවන්තොටුපොළට පතිත කෙරුණි.

යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයන් සිදුවන්නේ කුමන්දැයි දැන නොසිටි අතර, යානයේ මඟ වෙනස් වෙද්දී ඔවුන් කලබලයට පත්වුණැයි ද වාර්තා වේ.

යානය මෙසේ තාප්පයේ ගැටී ඇත්තේ එය ධාවන පථයේ නියමිත ස්ථානයේදී ඉහළට පියාසර කරවීමට නියමුවන් අපොහොසත් වුණු නිසා යැයි ගුවන්තොටුපොළ බලධාරීහු පෙන්වා දෙති.

එයාර් ඉන්දියා ගුවන් සමාගම පසුව කියා සිටියේ යානයේ නියමුවන් දෙදෙනා ඉතා පළපුරුදු දෙදෙනකු බවය. කෙසේ නමුත් ගුවන්තොටුපොළ බලධාරීන් පවසන්නේ නියමුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන් යානය තාප්පයේ ගැටුණු බවය.

තමන් ඒ බව නියමුවන්ට දැනුම්දී යානය කඩිනමින් මුම්බායි නුවර ගුවන්තොටුපොළට ගොඩබෑමට උපදෙස් ලබා දුන්  නිසා මහා අනතුරක් වැළැක්වුණු බව ගුවන් බලධාරීහු කියති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS