ගුවන් යානා අනතුර ගැන පරීක්ෂණ ඇරැඹේ



කඩා වැටුණු මගී ගුවන් යානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව රුසියානු බලධාරීහු කියති.

කඩා වැටුණු යානයේ සුන්බුන් මේ වනවිට පරීක්ෂාවට ලක් කෙරමින් පවතින බව ද වාර්තා වේ. කඩා වැටුණේ රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනෝව් ඒ.එන්. 148 වර්ගයේ මගී යානයකි. ‘සරාටොව් ගුවන් සේවයට’ අයත් මෙම යානය රට අභ්‍යන්තර ගුවන් යානයකි.

යානය මොස්කව් නුවර ඩොමොඩෙඩෝවෝ ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගත වෙද්දී හදිසියේ කඩා වැටුණැයි වාර්තා විය. අනතුරින් යානයේ සිටි 71 දෙනාම ජීවිතක්ෂයට පත් වූහ. රුසියානු ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුර මෙය යැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

යානය කඩා වැටී ඇත්තේ ආර්ගුනොවෝ නැමැති ගම්මානය අසලටය. ගම්වැසියන් පවසා ඇත්තේ මහා පිපිරුම් හඬක් ඔවුන්ට අසන්න ලැබුණු බවත් අහසේ ගිනි බෝලයක් දකින්න ලැබුණු බවත්ය. ආර්ගුනොවෝ ගම්මානය පිහිටා ඇත්තේ ගිනිකොන මොස්කව් අගනුවරින් කිලෝමීටර 80ක් ඈතිනි. 

ගුවන් අනතුරින් මියගිය අය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කනගාටුව සහ ශෝඛය පළ කර ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS