ගුවන් යානයට අකරතැබ්බක්



ඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලානියා ට‍්‍රම්ප් ගමන් කරමින් සිටි ගුවන් යානයක දෝෂයක් හටගෙන එය හදිසි ගොඩබෑමකට ලක් කළ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

ගුවන් ගමනට ජනපති ආර්යාව මෙලානියා සහ ඇගේ ධවල මන්දිර කාර්ය මණ්ඩලය, සීක‍්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් නොව මාධ්‍යවේදීහු සම්බන්ධ වී සිටියහ.

මෙලානියා මෙම පිරිස කැටුව ගුවන් යානයට ගොඩවී සිටියේ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්ෆියා නුවර විශේෂ සම්මන්ත‍්‍රණයකට යෑම සඳහාය.

පිරිස ගමන් කරන්න වූයේ ‘එයාර් ෆෝස් 2’ යන නමින් හැඳින්වෙන පළමු පංතියේ ආසන 45 කින් සමන්විත, බෝයිං 757-200 වර්ගයේ සී 32 ඇමෙරිකන් හමුදාවට අයත් ගුවන් යානයකය.

පිලිබෙල්ෆියා නුවර බලා යෑමට යානය ගුවන්ගත වී, විනාඩි 10 ක් ගතවෙද්දී යානය දුමෙන් පිරෙන්න විය. යානයේ සිටි සැවොම කලබලයට පත් වෙද්දී, මෙලානියාගේ ආරක්ෂාවට ඇය සමඟ ගමන් කරමින් සිටි සීක‍්‍රට් සර්විස් ජනපති ආරක්ෂක සේවයේ නිලධාරීන් හත් දෙනා ඇය වර කරගත් බව ද වාර්තා වේ.

සිදුවුණේ කුමක්දැයි සොයා බලද්දී යානයේ සන්නිවේදන පරිපථ පද්ධතියේ විදුලි කාන්දුවක් සිදුවී පද්ධතිය පිළිස්සී දුම නැගෙන බව දැනගන්න ලැබී ඇත. දුම වැඩි වුණොත් මුහුණු ආවරණය කර ගන්නැයි උපදෙස් දෙමින්, ගුවන් යානයේ සේවිකාවන් තමන්ට තෙත් කරන ලද තුවා ලබා දුන් බව යානයේ කමන් කරමින් සිටි මාධ්‍යවේදීහු පසුව පැවැසූහ.

නියමුවන් සිදුවුණු අකරතැබ්බ ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේ බලධාරීන්ට දන්වා ඇති අතර, වහා ආපසු ගුවන් කඳවුර බලා පැමිණෙන ලෙස උපදෙස් ලැබී ඇත. ඒ අනුව යානය ආපසු හරවා ගෙන ගුවන් කඳවුරට පැමිණ හදිසියේ ගොඩබෑමක් කිරීමට නියමුවෝ සමත් වූහ.

මෙලානියා ඇතුළු ඇගේ ධවල මන්දිර සහායිකාව, සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වහා යානයෙන් ඉවත් කෙරුණි. යානය ගුවන් කඳවුර බලා ආපසු පැමිණෙද්දී ගිනි නිවන ට‍්‍රක් රථ සහ ගිලන් රථ පවා ගුවන්තොටුපොළේ සීරුවෙන් තබා තිබුණු බව වාර්තා වෙයි.

විනාඩි 50 ක ප‍්‍රමාදයකින් පසු තවත් ගුවන් යානයක් මෙලානියා වෙනුවෙන් ලබා දීම සිදුවිය. ඇය සහ පිරිස පැයක ප‍්‍රමාදයකින් පසු පිලිඩෙල්ෆියා බාලා පැමිණියහ.

යානයට සිදුවුණු අකරතැබ්බ සැලවීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් සිදුවුණේ කුමක්දැයි වැඩි විස්තර සොයා බැලීමෙන් පසු සුපුරුදු පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

එපමණක් නොව ෆොක්ස් බිස්නස් නෙට්වර්ක් පුවත් සේවය සමඟ සම්බන්ධ වෙමින් ට‍්‍රම්ප් මෙසේ ද පැවැසීය. ‘මෙලිනියා ගමන් කරමින් සිටි යානයේ දෝෂයක් හටගත්තා. ඇයට ඇගේ ගමන යන්න වෙනත් යානයක් ලැබුණා.’

පැයක ප‍්‍රමාදයකින් පසු ජනාධිපති ආර්යාව මෙලානියා පිලිඩෙල්ෆියා නුවරට ගොස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය ලබන පිරිස් සහ මත්ද්‍රව්‍ය භාවිතයේ අතුරුඵලයක් ලෙස උපත ලැබූ අඩුපාඩු සහිත දරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යාංශය සූදානම් කළ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයට සහභාගී වූවාය.

ගුවන් යානයට සිදුවුණු අකරුබ්බ ගැනත් තම ප‍්‍රමාදය ගැනත් සමාව ඉල්ලීමට මෙලානියා කටයුතු කළාය. සමාවෙන්න ගුවන් යානයේ පුංචි දෝෂයක් හටගත්තා. ඒ නිසා එන්න ප‍්‍රමාද වුණා’ යැයි ඇය ඇමෙරිකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ තිබුණු දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයට එක් වෙමින් කියා සිටියාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS