ගුවන් යානයක් කඩා වැටී 188 ක් මරුට



ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වුණු ‘ලයන් එයාර්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් මුහුදට කඩා වැටුණි.

අනතුරට ලක්වූයේ රට අභ්‍යන්තර ගුවන් යානයකි. ජේටී 610 දරණ එම ගුවන් යානය ජකර්තා අගනුවර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගත වෙද්දී, රේඩාර් තිරයෙන් අනතුරුදන් විය.

යානය මූදට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණි. එහිදී යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවිය. යානයේ සිටි කිසිවකුටවත් දිවි ගලවා ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැත.

යානය ජකර්තා අගනුරින් ගුවන්ගත වී ඇත්තේ, බංග්කා බෙලිටුංග් දූපතේ පන්ග්කාල් පිනැනග් ගුවන්තොටුපොල බලා යෑමටය. යානයේ සිටි මගීන් ගණන 178 කි. නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ ගණන 6 කි. මගීන් අතරේ එක් කුඩා දරුවකු සහ බිලින්දෝ දෙදෙනක් සිටියහ.

කඩා වැටුණු යානය නවීනතම බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානයකි. එහෙයින්, යානයේ දෝෂයක් තිබුණැයි සැක කළ නොහැකි බව ලයන් එයාර් ගුවන් සමාගම කියයි. සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට ලයන් එයාර් සමාගම පමණක් නොව, ඉන්දුනීසියා රජය ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

‘ලයන් එයාර්’ යනු ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක මිල අඩු ගුවන් සේවයකි. එපමණක් නොව, ඉන්දුනීසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය ද මෙයයි. ‘ලයන් එයාර්’ ගුවන් සමාගම පිහිටුවන ලද්දේ 2000 වසරේදීය. දකුණු ආසියාවේ දෙවැනි මිල අඩු ගුවන් සේවය වන්නේ ද ‘ලයන් එයාර්’ ය. පළමු ස්ථාන හිමි වන්නේ ‘එයාර් ඒෂියා’ ගුවන් යානයයි.

2013 වසරේ දී, ලයන් එයාර් 904 නමැති ගුවන් යානය බාලි දූපතේ න්ගුරා රායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෙනි පෙනී මුහුදට කඩා වැටුණි. එම අවස්ථාවේදී යානයේ සිටි ගණන 108 කි. කෙසේ නමුත් ඔවුන් සියලුම දෙනා එම අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් විය.  2004 වසරේ දී, ලයන් එයාර් ගුවන් සේවයට අයත් 538 මගී ගුවන් යානය සෝලෝ සිටී ගුවන්තොටුපොළට ගොඩබෑමට සූදානම් වෙද්දී අනතුරට ලක් විය. එයින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS