ගුවන් යානයක් ඉන්ධන හලලා: පාසල් දරුවෝ රෝහලේ



ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ මගී ගුවන් යානයක්, එහි ඉන්ධන පාසල් ක්‍රීඩා පිටියකට මුදා හැරීම හේතුවෙන්, දරුවන් 20 දෙනකු චර්ම රෝග සහ ස්වසනාබාධවලට ලක් වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ගුවන් යානය ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළෙන් පිටත් වී ඇත්තේ ෂැංග්හායි බලා යෑමටය. එහෙත් යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇත.

යානය කඩා වැටීමේ අවදානමක් ද පැවැති බව වාර්තා වේ. එහෙයින් හදිසි ගොඩබෑමකට සූදානම් වීමට යානයේ ඉන්ධන හිස් කිරීමට නියමුවන්ට උපදෙස් ලැබී ඇත. ඩෙල්ටා 89 නමැති එම ගුවන් යානයේ සිටි මගීන් ගණන 149 කි. යානය හදිසි ගොඩබෑමකට ලක් කෙරුණු බවත්, මගීන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවත් වාර්තා වේ.

ඉන්ධන හේතුවෙන් චර්ම රෝග සහ ස්වසනාබාධවලට ලක්වුණු දරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ලොස් ඇන්ජලීස් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ලොස් ඇන්ජලීස්හිදී (රොයිටර්)


RECOMMEND POSTS