ගිනිකන්ද පිපිරී මියගිය ගණන 73 ක්



ලතින් ඇමෙරිකාවට අයත් ගෞතමාලාවේ ‘ෆුයේගෝ’ ගිනි කන්ද යළිත් වරක් පුපුරා ගිය බවත්, ගිනි කන්ද පිපිරීමෙන් මියගිය ගණන මේ වනවිට 73 තෙක් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

ගිනි කඳු පිපිරීම සම්බන්ධයෙන්, ගෞතමාලා ජනාධිපති ජිමී මොරාලේස් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. විපතට පත්වූවන්ට සහාය දීමට පොලිසිය සහ හමුදාව ද යොදවා ඇතැයි පැවැසෙයි.

ගිනි කන්ද පිපිරීම හේතුවෙන් 200 කට වැඩි පිරිසක් අතුරුදන් බවත්, කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු ඒ අතර සිටින බවත් පැවැසෙයි. අතුරුදන් යැයි පැවැසෙන පිරිස ද මියගොස් ඇතැයි අනුමාන කෙරේ.

බොහෝ දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ගිනි කන්දෙන් පිටවුණු සල්ෆර් මුසු විස දුමාරය හේතුවෙන්ය. ‘ෆුයේගෝ’ ගිනි කන්ද පිහිටා ඇත්තේ ගෞතමාලාවේ ‘ගෞතමාලා සිටී’ අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දකුණු දෙසිනි.

ගිනි කන්ද පිපිරීමත් සමඟ නැගුණු අළු තට්ටු කිලෝ මීටර් ගණනාවක් දුර සියලු දේ වසා පවතී. ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ මිලියන 1.7 ක පිරිසක් පීඩාවට පත් වූහ. දුම් වලා හේතුවෙන් ලා අවුරෝරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දින ගණනාවක් තිස්සේ වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS