ගිනිඅවිවලට ට්‍රම්ප්ගෙන් තහංචියක්



ෆ්ලොරීඩා උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීමෙන් පසු, ඇමෙරිකාවේ ගිනි අවි සඳහා ‘බම්ප් ස්ටොක්’ උපාංග භාවිතය තහනම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

‘බම්ප් ස්ටොක්’ උපාංග තහනම් කරමින්, ඒ සඳහා විශේෂ නියෝගයට අත්සන් කිරීමෙන් පසු ෆ්ලොරීඩා උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීම යළිත් වරක් හෙළා දැකීමට ද ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අමතක නොකළේය.

ඇමෙරිකා ඉතිහාසයේ ගිනි අවි සම්බන්ධයෙන්, එරට ජනපතිවරයකු ගත් වැදගත් තීරණයක් ලෙස මෙය සැලකෙයි.

ට්‍රම්ප්ට පෙර ඇමෙරිකා ජනපති ධුරය හෙබවූ කිසිදු ජනපතිවරයකුට ගිනි අවි පාලනයක් කිරීමට නොහැකි විය. ගිනි අවි තහනම් කිරීමට ට්‍රම්ප් ද අදිමදි කරයි.

කෙසේ නමුත් ෆ්ලොරීඩාවේ ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ සිදුවුණු එම වෙඩි තැබීමෙන් පසු, ගිනි අවි සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි ට්‍රම්ප්ට බලපෑම් එල්ල විය. ‘බම්ප් ස්ටොක්’ උපාංග තහනම් කළේ ඒ අනුවය.

ට්‍රම්ප් මෙම තහනම පැනැවීම සිදු කළේ ධවල මන්දිරයේ පැවැති විශේෂ සැමරුමකදීය. සැමරුම පැවැත්වූයේ ‘මහජන ආරක්ෂාව’ යන තේමාව යටතේය. මහජන ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා රාජකාරී කළ නිර්භීත පොලිස් නිලධාරීන් මෙහිදී ඇගැයීමට ලක් කෙරුණි.

‘බම්ප් ස්ටොක්’ යනුවෙන් හැඳින්වෙන්නේ රයිෆලවලට සවි කරන උපාංගයකි. මෙම උපාංගය සවි කර ඇති විට, කොකා ගැස්සීමේදී එක දිගට වෙඩි ප්‍රහාර වැලක් නිකුත් වෙයි. ෆ්ලොරීඩාවේ උසස් පාසලේ වෙඩි තැබීමේදී වෙඩි තැබීම කළ ගැටවරයා ද ඔහුගේ තුවක්කුවලට ‘බම්ප් ස්ටොක්’ උපංග සවි කර තිබුණි.

පසුගිය වසරේ ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත සැණකෙළියට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම අවස්ථාවේදී ද තුවක්කුකරු ඔහුගේ තුවක්කු සඳහා ‘බම්ප් ස්ටොක්’ උපාංග භාවිත කර තිබුණි.

ෆ්ලොරීඩාවේ ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීමෙන් පාසල් සිසු සිසුවියන් ද ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වෙඩි තැබීම සිදු කළේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පාසලෙන් නෙරපා දැමුණු ගැටවරෙයකි. ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS