ගගනගාමීන් දෙදෙනා ආපසු ඇවිල්ලා



‘ස්පේස් එක්ස්’ පෞද්ගලික සමාගමේ ‘ඩ්‍රැගන්’ කැප්සියුලය ආධාරයෙන්, පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි නාසා ගගනගාමීහු දෙදෙනා බොබ් බෙන්කන් සහ ඩග් හර්ලි නිරුපද්‍රිතව යළි පෘථිවියට පැමිණිහ.

අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කර තිබුණු ගගන කැප්සියුලය ගගනගාමීන් දෙදෙනා සමඟ පෘථිවි වායු ගෝලයට ඇතුළු වී, පැරෂූට් ආධාරයෙන් මෙක්සිකෝ බොක්කට පතිත වූ අතර, ඇමෙරිකන් නාවික හමුදාව ඒ අසල රැඳී සිටියේය.

‘ඩ්‍රැගන්’ කැප්සියුලය ආපසු පෘථිවියට පැමිණියේ උතුරු අත්ලාන්තික් සාගරයේ වර්ධනය වූ ‘ඊසාඊයේස්’ සුළි කුණාටුව මධ්‍යයේය. සුළි කුණාටුව හේතුවෙන් කැප්සියුලයේ ගමනට බාධාවක් වේවි යැයි නාසා ආයතනය බිය පළ කර තිබුණු නමුත් සියල්ල හොඳින් සිදුවිය.

ගගනගාමීන් දෙදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටවී, ඩ්‍රැගන් කැප්සියුලයට ගොඩ වී, කැප්සියුලට මුහුදට වැටෙන තුරු, ගගනගාමීන්ගේ පාලන කුටියේ දසුන් සජීවීව අන්තර් ජාලය ඔස්සේ දැක ගැනීමට අවස්ථාවක් උදා කර දී තිබුණි. එය නැරැඹූ පෘථිවි වැසියන්ට අපූරු අත්දැකීමක් වූ බව නාසා පසුව සඳහන් කළේය.

‘ඊසාඊයේස්’ සුළි කුණාටුව, මෙක්සිකෝ බොක්කට ඔබ්බෙන්, පැයට කිලෝ මීටර් 136 ක වේගයකින් පුවර්ටෝ රීකෝ, බහාමාස් සහ ඩොමිනිකන් රිපබ්ලික් යන කැරිබියානු රටවලට කඩා වැදී මහ ව්‍යසනයක් සිදු කළේ පසුගිය පළමු වැනිදාය. සුළි කුණාටුව, ඇමෙරිකාවේ අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි ප්‍රාන්ත 19 කට බලපෑම් කරන්න වූයේ ඉන්පසුවය.

‘ඩ්‍රැගන්’ කැප්සියුලය සාර්ථකව යළි පැමිණීම ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි. බොබ් බෙන්කන් සහ ඩග් හර්ලි රැගෙන ‘ඩ්‍රැගන්’ කැප්සියුලයට උඩු ගුවනට ගියේ පසුගිය මැයි 30 වැනිදාය. කැප්සියුලය උඩු ගුවනට රැගෙන ගියේ ස්පේස් එක්ස් පෞද්ගලික සමාගම නිර්මාණය කළ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවය.

නාසා ආයතනය ඔවුන්ගේ ෂටල වැඩසටහන අවසන් කිරීමෙන් පසු ඇමෙරිකාවෙන් ගගන කැප්සියුලයක් හා රොකට්ටුවක් උඩු ගුවනට යැවූ පළමු අවස්ථාව මෙය විය. ඩ්‍රැගන් කැප්සියුලය ගගනගාමීන් දෙදෙනකු සමඟ ආපසු පෘථිවියට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය ලෙය සැලකෙයි.

මූල්‍ය අර්බුද හේතුවෙන් ඉදිරි අභ්‍යවකාශ වැඩසටහන් සඳහා නාසා ආයතනය සහ ඇමෙරිකාවේ පෞද්ගලික සමාගම් හවුල් කිරීමට පියවර ගත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමාය.  2024 දී නාසා ආයතනය යළි සඳට යෑමට නියමිතය. ඊට ද ස්පේස් එක්ස් පෞද්ගලික සමාගම සම්බන්ධ වනු ඇතැයි පැවැසෙයි.

නාසා ආයතනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS