කොරෝනා රෝගීන් වැඩිවෙලා



නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දිගින් දිගටම හමුවීමට පටන්ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඕක්ලන්ඞ් නුවරින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ගණන 14 තෙක් ඉහළ ගියේය. පසුගිය 13 වැනිදා නවසීලන්ත රජය ඕක්ලන්ඞ් නුවර ‘ලොක්ඩවුන්’ කළේය. ඒ, දින 102 කට පසු කොරෝනා ආසාදිතයන් සිවු දෙනකු හමුවීමෙනි.

එම සිවු දෙනා එකම පවුලේ සාමාජිකයන් බවත්, ඔවුන්ට කොරෝනා ආසාදතය වූයේ කෙසේදැයි තහවුරු කළ නොහැකි බවත් සෞඛ්‍ය අංශ පැවැසීය. ඕක්ලන්ඞ් නුවර තාවකාලිකව ‘ලොක්ඩවුන්’ කළේ ඒ නිසාය.

‘අප බැරෑරුම් අවස්ථාවකට මුහුණ දෙන්නයි යන්නේ. වයිරසයේ මෙම දෙවැනි රැල්ල අප පාලනය කළ යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරනවා. ඕක්ලන්ඞ් වැසියන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ආසාදිතයන් සිටිනවාදැයි සෙවීමේ කටයුතු ආරම්භ කළා’ යැයි නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළාය.

නවසීලන්තයේ මෙලෙස දෙවැනි රැල්ලක් හටගත්තේ ‘කොරෝනා සාර්ථකව මර්දනය කළ රටක්’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුම් ලැබෙද්දීය. ලබන සැප්තැම්බරයේ නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වෙයි.

එම මැතිවරණයෙන්, අගමැති ජැසෙන්ඩා විශිෂ්ට ජයක් හිමිකර ගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොරෝනා වයිරසය පාලනයට ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබේ.

ඕක්ලන්ඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS