කොරෝනා මැද චීනයේ නව වයිරසයක්



‘කොවිඞ් 19’ වයිරස වසංගතය මැද තවත් නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ බිය පළ කළහ. මෙම නව වයිරසය ද ‘කොවිඞ් 19’ වයිරසය මෙන් ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩ ඇති බව චීන විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

මෙම වයිරසය මනුෂ්‍යයන්ට ආසාදනය වන්නේ ඌරන් හරහා යැයි මේ වනවිට හඳුනා ගෙන තිබේ. මනුෂ්‍යයන් අතරේ වයිරසය පැතිරෙනු ඇත්තේ විකෘතිකරණයට ලක් වෙමිනි.

‘මේ ගැන දැන්ම බියක් ඇති කර ගන්න ඕනෑ නැහැ. මේ වයිරසය තවමත් අපට දකින්න ලැබී ඇත්තේ ඌරන් තුළ පමණයි. මෙය මනුෂ්‍යයන්ට ආසාදනය නොවීමට අප වගබලා ගන්නවා. මනුෂ්‍යයන් අතරේ වයිරසය පැතිරුණොත් එය තවත් බිහිසුණු ඛේදවාචකයක් වෙන්න පුළුවන්’ යැයි චීන විද්‍යාඥයෝ පෙන්වා දෙති.

චීන විද්‍යාඥයන්ට මෙම නව වයිරසය ගැන සොයා ගැනීමට හැකි වී ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දීය. ඌරන් නිසා මිනිසුන්ට ආසාදනය වන එච්1එන්1 හෙවත් සූකර උණ වසංගත සම්බන්ධයෙන් විටින් විට ලොව නන්දෙසින් වාර්තා වේ. 2009 වසරේ මෙක්සිකෝවෙන් සූකර උණ වසංගතයක් පැතිර ගියේය. ඌරන්ගේ සිරුරුවලින් සොයා ගත් මෙම නව වයිරසයයේ එච්1එන්1 වයිරසයේ ලක්ෂණ ඇති නමුත් එය නව මාදිලියක වයිරසයක් බව චීන විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අද ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ද සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වුණු වයිරසයකි. කොරෝනා යනු ක්ෂීරපායී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ පැතිරෙන වයිරස විශේෂයකි. ‘කොවිඞ් 19’ මනුෂ්‍යයන්ට ආසාදනය වන්න ඇත්තේ වවුලන් සහ කබල්ලෑවන් හරහා යැයි සැක කෙරේ.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS