කොරෝනා ඔඩුදුවයි: මැලේසියාව ලොක්ඩවුන්



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ මැලේසියාව හෙට (1) සිට සති දෙකක කාලයක් වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යාසිම් ප්‍රමුඛ රජය පවසයි.

මැලේසියාව මෙසේ වසා දැමෙන්නේ, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව යැයි ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත. මේ වනවිට මැලේසියාවේ එන්නත්කරණ වැඩසටහන ද වේගයෙන් සිදුවෙමින් පවතී. රටේ ජනගහනයෙන් බිලියන 1.7 කට, එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (29) වනවිට මැලේසියාවෙන් නව ආසාදිතයන් 9,020 දෙනකු වාර්තා වී තිබුණු අතර, ඒ අනුව, සමස්ත ආසාදිතයන් 5,58,534 තෙක් ඉහළ ගොස් තිබුණි. ඊයේ (29) දිනයෙන් අවසන් වුණු පැය 24 ඇතුළත මරණ 98 ක් වාර්තා වූ අතර, සමස්ත මරණ ඒ අනුව 2,650 පසු කළේය.

සති දෙකකට රට වසා දැමුණත්, සුපිරි වෙළෙඳසැල්, ඔසුසැල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා විවෘතව පවතී. ඊට අමතරව, සෙසු ආර්ථික සහ සමාජ ක්‍රියාකාරකම් සියල්ල අත්හිටුවන බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

මැලේසියාවේ කොරෝනා ආසාදිතයන් වැඩිවීම ආරම්භ වූයේ පසුගිය ජනවාරියේ සිටය. ආසාදිතයන් වැඩි වෙද්දී, විටින් විට සංචරණ සීමා පැනැවීමටත් පසුව ඒවා ලිහිල් කිරීමටත් රජය සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළේය.

මේ වනවිට ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන කෝටි 17 ඉක්මවා ගියේය. ලොව පුරා සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වූයේ 170,126,896 ක් ලෙසය. සමස්ත මරණ සංඛ්‍යාව 3,537,568 කි.

තවමත් ලොව වැඩියෙන්ම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර, දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. මරණ අතින් ඉන්දියාව ඇත්තේ ලොව තෙවැනි ස්ථානයේය.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS