කොරෝනා ඉව අල්ලන බල්ලෝ



ඉව අල්ලමින්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගත හැකි, විශේෂයෙන් පුහුණු කළ පොලිස් නිල සුනඛයන් ෆින්ලන්තයේ හෙල්සින්කී ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යොදවා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

මෙම නිල සුනඛයන් යොදවා ඇත්තේ හෙල්සින්කි වැන්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේය. නිල සුනඛයන් 15 දෙනකු සහ උන්ගේ උපදේශකවරුන් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැය 24 පුරා මාරුවෙන් මාරුවට ගුවන්තොටුපොළේ රාජකාරි කරන බව වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් සෙවීමට, මෙම නිල සුනඛයන් පුහුණු කර ඇත්තේ පශු වෛද්‍යවරුවන්ගේ ද අධීක්ෂණය යටතේය.

හෙල්සින්කි වැන්ටා ගුවන්තොටුපොළේ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ සිරුරේ ශරීර උෂ්ණත්වයේ වෙනස්වීම් සොයන ස්කෑන් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී. නිල සුනඛයන් යොදවා ඇත්තේ එම පරීක්ෂණ සුපුරුදු පරිදි සිදු කරන අතරතුරේදීය.

‘අප මේ නිල සුනඛයන් පුහුණු කර තිබෙන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර, කොරෝනා ආසාදිතයන් සිටින්නේ නම් ඔවුන් නිවැරදිව හඳුනා ගැනීමටයි’ යැයි හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන ඇනා හෙයිල්ම් ජොර්කාන් පවසා ඇත. හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ සතුන් පර්යේෂණ සඳහා යොදා ගැනීමේ අංශ ප්‍රධානියා ද වෙයි.

හෙල්සින්කී නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS