කොරෝනා ආසාදිතයන්ට රෙම්ඩෙසවියර්



ඇමෙරිකා එක්සත් ජනපදයේ, ගිලීඩ් ඖෂධ නිෂ්පාදන සමාගම, ඉබෝලා වයිරසය අඩපණ කිරීමේ අරමුණින් නිපදවූ, රෙම්ඩෙසවියර් නමැති ඖෂධය කොරෝනා ආසාදිතයන්ට ලබා දීම සුදුසු යැයි ඇමෙරිකා ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසා ඇත.

රෙම්ඩෙසවියර් යන ඖෂධ නාමයෙන් හැඳින්වෙන මෙම නව ඖෂධයේ වෙළෙඳ නාමය ‘වෙක්ලූරි’ යැයි ද පැවැසෙයි. ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය‍, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයනු වෙනුවෙන් නිර්දේශ කළ පළමු ඖෂධය වන්නේ රෙම්ඩෙසවියර් ය.

ගිලීඩ් ඖෂධ නිෂ්පාදන සමාගම, රෙම්ඩෙසවියර් නිපදවීම ආරම්භ කර ඇත්තේ මීට වසර කීපයකට පෙරය. මෙම ඖෂධය නිපදවූයේ, ඉබෝලා වයිරසයට එරෙහිවය. ඉබෝලා මාරක වයිරසය වසංගතය හේතුවෙන් වසංගත තත්ත්වයක් හටගත්තේ 2014 සිට 2016 දක්වා කාලයේය.

ඉබෝලා වයිරසය පැතිර යෑම ඇරඹුණේ ගිනියා, සියේරා ලියෝන්, ලයිබීරියා, නයිජීරියා, මාලි යන අප්‍රිකා රටවල් කේන්ද්‍රකොට ගනිමිනි. පසුව යුරෝපා රටවලින් පමණක් නොව, ඇමෙරිකාවෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැණින.

මාරක ඉබෝලා වයිරසය මර්දනයට මෙන්ම, වයිරසය ආසාදනය වූ පසු ඊට ප්‍රතිකර්මයක් සෙවීමට ද ගිලීඩ් ඖෂධ නිෂ්පාදන සමාගම යොමු වූයේ එම අවස්ථාවේදීය. රෙම්ඩෙසවියර් ඔසුව නිපදවීම ඒ අනුව සිදුවිය.

ඇමෙරිකාවේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙමින්, ආසාදිතයන් සහ මරණ වාර්තා වීමට පටන් ගත් අවස්ථාවේදී, වෙන විකල්පයක් නොවූ බැවින්, හදිසි තත්ත්වයක් සේ සලකා, ආසාදිතයන්ට රෙම්ඩෙසවියර් ලබා දීම ඇරඹිණි.

ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීමේ හැකියාව රෙම්ඩෙසවියර් සතු බව ඒ අනුව අනාවරණය විය. පසුගිය දෙවැනිදා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූ අවස්ථාවේදී, ඔහුට ද රෙම්ඩෙසවියර් ඖෂධය ලබා දීමට වෛද්‍යවරු කටයුතු කළහ. දින 10 ක් වැනි කෙටි කාලයකදී ට්‍රම්ප් සුවය ලැබුවේ රෙම්ඩෙසවියර් නිසා යැයි වෛද්‍යවරු පසුව පැහැදිලි කළහ.

මේ වනතුරු කොරෝනා ආසාදිතයන් සුවපත් කිරීමට හෝ කොරෝනා ආසාදනය වීම වැළැක්වීමට හෝ නිසි එන්නතක්, ඔසුවක් නිපදවා නැත. රුසියාව සහ චීනය එන්නත් නිපදවා ඇත්තේ වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. ඒවා ජනතාවට ලබා දීම සිදුවන්නේ සායනික අත්හදා බැලීම් සිදුවෙමින් පවතිද්දීය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS