කොංග්‍රස් පක්ෂයට ජය



ඉන්දියාවේ චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, මිසෝරාම්, රාජස්ථාන් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත පහේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ පාලක භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වෙමින් චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන් පක්ෂවල බලය තහවුරු කර ගැනීමට රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය සමත් විය.

මධ්‍ය ප්‍රාදේශ් සහ චතිස්ගාර් ප්‍රාන්ත බලය පහසුවෙන් දිනා ගැනීමට කොංග්‍රසය සමත් වුවත්, රාජස්ථාන ප්‍රාන්තය වෙනුවෙන් කොංග්‍රසය සහ භාරතීය ජනතා පක්ෂය අතර තියුණු සටනක් පැවැත්විණි.

තෙලන්ගානා සහ මිසෝරාම් යන ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට හැකි වූයේ ටී.ආර්.එස්. (තෙලන්ගානා රාෂ්ට්‍ර සමිති) සහ එම්.එන්.එෆ්. (මිසෝ ජාතික පෙරමුණ) පක්ෂයයි. 1987 වසරේ සිට මිසෝරාම් ප්‍රාන්තයේ බලය අල්ලා ගෙන සිටින්නේ මිසෝ ජාතික පෙරමුණ පක්ෂය සහ කොංග්‍රස් පක්ෂයයි.

තෙලන්ගානා ප්‍රාන්තයේ 2014 වසරේ සිට බලයේ රැඳී සිටින්නේ තෙලන්ගානා රාෂ්ට්‍ර සමිති පක්ෂයයි. ටී.ආර්.සී. පක්ෂය තෙලන්ගානා ප්‍රාන්තයේ බලය තහවුරු කර ගනිද්දී, දෙවැනි ස්ථානය කොංග්‍රස් පක්ෂයටත් තෙවැනි ස්ථානය භාරතීය ජනතා පක්ෂයටත් හිමිවිය.
චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, මිසෝරාම්, රාජස්ථාන් සහ තෙලන්ගානා ප්‍රාන්ත මැතිවරණ පැවැත්වූයේ පසුගිය නොවැම්බරයේ සහ දෙසැම්බර් පළමු සතියේය.

ආසන 18 කින් සමන්විත චතිස්ගාර් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූයේ පසුගිය 12 වැනිදාය. ආසන 230 කින් සමන්විත මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සහ ආසන 40 කින් සමන්විත මිසෝරාම් ප්‍රාන්තයේ මැතිවරණ පැවැත්වූයේ පසුගිය 28 වැනිදාය.

මිසෝරාම් ප්‍රාන්තයේ ආසන 29 ක් දිනා ගනිමින්, රජයක් පිහිටුවීමට කොංග්‍රසය සමත් විය. ආසන 119 කින් සමන්විත තෙලන්ගානා ප්‍රාන්තසභා මැතිවරණය පැවැත්වූයේ පසුගිය 7 වැනිදාය. ඒ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.

ඉන්දීය මහ මැතිවරණය 2019 වසරේදී පැවැත්වීමට නියමිත අතර, දිගටම බලයේ රැඳී සිටීමට අගමැති මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය අපේකෂා කරයි. කෙසේ නමුත් චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, මිසෝරාම්, රාජස්ථාන් සහ තෙලන්ගානා ප්‍රාන්තවල බලය අත්පත් කර ගැනීමට නොහැකිවීම භාරතීය ජනතා පක්ෂය ලැබූ පසුබෑමක් යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS