කුණාටුව කඩා වදිද්දී 100 ක් හිරෙන් පැනලා



අති බිහිසුණු ‘ඉර්මා’ සුළි කුණාටුව බ්‍රිතාන්‍යයට අයත් වර්ජීන් දූපත් හරහා හමා යද්දී, එක් දූපතක පිහිටුවා ඇති බන්ධනාගාරයක රැඳෙවියන් 100 දෙනකු පලා ගොස් ඇති බවත්, ඔවුන් සෙවීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් බ්‍රිතාන්‍ය රජය කියා සිටී.

පැන ගිය එම රැඳෙවියන් අතර ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් සිටින බවත්, ඔවුන් හේතුවෙන් දූපත් සමූහයේ වැසියන්ට විශාල තර්ජනයක් වී ඇති බවත් බ්‍රිතාන්‍ය රජය වැඩි දුරටත් කියා සිටී.

රැඳෙවියන් පැන ගියේ සුළි කුණාටුවෙන් බන්ධනාගාරයට ප්‍රබල හානි සිදුවූ නිසා යැයි ද පැවැසෙයි. බන්ධනාගාර පාලකවරයා සහ නියාමකවරන් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාවේ සහාය ද ලබා ගනිමින් පලා ගිය රැඳෙවියන් කොටු කර ගැනීමට උත්සාහ ගන්නා බවය. රැඳෙවියන් ගැන සියලු විස්තර දූපත්වාසීන්ට ලබා දී ඇතැයි ද පැවැසෙයි.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් ද වර්ජීන් දූපත් සමූහයේ සංචාරයක නියැලුණේය. එහිදී රැඳෙවියන් අල්ලා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහු විමසා බැලුවේය. සහන සේවා කටයුතු සඳහාත් සහනාධාර බෙදා හැරීම සඳහාත් හමුදාව යෙදවීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ.

බ්‍රිතාන්‍ය වර්ජීන් දූපත් සමූහයට අයත් වන්නේ එක ළඟ පිහිටි කුඩා දූපත් පොකුරකි. ටෝර්ටොලා, වර්ජීන් ගෝර්ඩා, ඇනෙගාඩා සහ ජොස් වොන් ඩයික් යනු එම දූපත් පොකුරය.

බ්‍රිතාන්‍ය වර්ජීන් දූපත්’ පිහිටා ඇත්තේ ද කැරිබියානු මුහුදු සීමාවේ පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යයට නැගෙනහිර දෙසිනි. ඇමෙරිකාවට කඩා වැදීමට පෙර, ඉර්මා මහ වැසි සහ තද සුළං ද සමඟ කැරිබියානු දූපත් පසු කළේ පසුගිය සිකුරාදා දිනයේය.

(රොයිටර්)


RECOMMEND POSTS