කියුබා ජනාධිපති රුසියාවේ



රාජ්‍ය තාන්ති‍්‍රක සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, කියුබා ජනාධිපති මිගුවෙල් දියේස් කැනැල් රුසියාවේ මොස්කව් අගනුවර බලා පැමිණියේය.

රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් කියුබා ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. 57 හැවිරිදි මිගුවෙල් දියේස් කැනැල් කියුබාවේ ජනාධිපති ධුරයට පත් කර ගනු ලැබුණේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය.

1959 වසරේ කියුබානු විප්ලවයෙන් පසු කියුබාවේ ජනාධිපති ධුරයට පත් වුණු කස්ත්‍රෝ පවුලේ සාමාජිකයකු නොවන තැනැත්තා මිගුවෙල් දියේස් කැනැල්ය. කියුබා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කැනැල් විදෙස් සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.

වෙළෙඳ ගනුදෙනුවලට අමතරව, බලශක්ති සහ ආරක්ෂාව ඇතුළු දෙරටට වැදගත් ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් කියුබා ජනාධිපතිවරයා සහ රුසියන් ජනාධිපතිවරයා අතරේ ගිවිසුම් අත්සන් කෙරුණි. ඊට අමතරව, ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් සහ වෙනත් රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුද සම්බන්ධයෙන් ජනපතිවරුන් දෙදෙනා අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්විණි.

60 දශකයේ නිරවි යුද සමයේදී, සෝවියට් දේශයේ සමීපතම මිතුරා වූයේ කියුබාවය. ඇමෙරිකාව සහ කියුබාව අතර අර්බුදය නිර්මාණය වීමට හේතුවක් වූයේ ද එයයි. කියුබාවට ඩොලර් බිලියන ගණනින් ආධාර ලබා දීම කළේ සෝවියට් සමූහාණ්ඩුවය. 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමත් සමඟ තව දුරටත් කියුබාවට මුදල් ආධාර ලබා දීම රුසියාවට කළ නොහැකි විය. ඒ අනුව, කියුබාව සහ රුසියාව අතර ආර්ථික වශයෙන් පැවැති සබඳතා ඇණහිටියේය.
කෙසේ නමුත් 2000 දීත් 2014 දීත් රුසියා ජනාධිපති පුටින් කියුබාවේ සංචාරය කරමින්, රුසියාව සහ කියුබාව අතර සබඳතා යළිත් වරක් ශක්තිමත් කර ගත්තේය.

රුසියානු සංචාරයෙන් පසු කියුබා ජනාධිපතිවරයා චීනයේත්, ඉන්පසු උතුරු කොරියාවේත්, වියට්නාමයේත්, ලා ඕසයේත් සංචාරය කරනු ඇත.

කියුබා ජනපතිවරයාගේ උතුරු කොරියා සංචාරය ඓතිහාසික එකක් වනු ඇති අතර, සාම මාවතට පිවිසීමෙන් පසු කිව් ජොන් උන් හමුවීමට පැමිණෙන දෙවැනි විදෙස් රාජ්‍ය නායකයා වනු ඇත්තේ කියුබා ජනාධිපතිවරයාය. යහපත් සබඳතා ආරම්භ වීමෙන් පසු උතුරු කොරියාවට ගිය පළමු විදෙස් රාජ්‍ය නායකයා අසල්වැසි දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් ය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS