කිම් ජොන් උන් - ට්‍රම්ප් හමුවක්



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොන්ඞ් ට්‍රම්ප් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ලොව කවුරුත් පුලපුලා බලා සිටින එම හමුව පැවැත්වෙනු ඇත්තේ ලබන මැයි මාසයේදීය. මෙම ඓතිහාසික හමුව පැවැත්වෙනු ඇත්තේ දකුණු කොරියාවේ මැදිහත්වීමෙනි.

සීත ඔලිම්පික් උළෙලින් පසු, උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර මේ වනවිට වර්ධනය වී ඇත. පසුගියදා දකුණු කොරියානු රජයේ විශේෂ නියෝජිතයෝ පිරිසක් උතුරු කොරියාවේ නිල සංචාරක නියැලුණාහ. ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ කිම් ජොන් උන් විසිනි. දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී සබඳතා තවත් වර්ධනය විය.

කොරියානු සමුළුවක් පැවැත්වීමට එහිදී උතුරු කොරියානු නායකයා යෝජනා කළ අතර, දකුණු කොරියානු නායක මූන් ජේ ඉන්ගේ කැමැත්ත ද ඊට හිමිවිය. ලොවට තර්ජනයක් වන අයුරින් සිදුකරන න්‍යෂ්ටික සහ මිසයිල කටයුතු සීමා කිරීමට උතුරු කොරියානු නායකයා එහිදී එකඟ විය.

දකුණු කොරියානු රජය නියෝජනය කරමින්, එරට විශේෂ නියෝජිතයෝ දෙදෙනෙක් මේ වනවිට ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටිති. ඔවුහු ජනපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වූහ. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුව පැවැත්වීමට කටයුතු යෙදුණේ මේ මොහොතේය.

තමන් ට්‍රම්ප් හමුවන්න කැමැති බව දකුණු කොරියානු නියෝජිතයන් අතේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දන්වා එවා තිබුණි. ඊට තමන් එකඟ බව ජනපති ට්‍රම්ප් එක පයින් කැමැත්ත පළ කළේ යැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS