කාශ්මීර අර්බුදය විසඳන්න සැරැසෙයි



ඉන්දු පාකිස්තාන කාශ්මීර අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන්ගේ සාමකාමී යෝජනාවලියක් සකස් කරමින් සිිටන බව පාකිස්තාන මානව අයිතීන් පිළිබඳ අමාත්‍යවරිය ෂිරේන් මසාරී පවසා ඇත.

මානව අයිතීන් සුරැුකීම පිළිබඳ අමාත්‍යවරිය මෙසේ අදහස් දක්වා ඇත්තේ රූපවාහිනී වැඩසටහනක් අතරතුරේදීය. දිනෙන් දින ඔඩුදුවන කාශ්මීර අර්බුදය විසඳීම සම්බන්ධයෙන් තම අවදානය යොමු වී ඇති බවත්, ඒ සඳහා තම රජය සාමකාමී යෝජනාවලියක් සකස් කරන බවත් පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් ද පවසා ඇත. කාශ්මීර අර්බුදයට සාමකාමී පැහැදිලි විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා යැයි ඉම්රාන් මැතිවරණ රැළිවලදී ද පවසා තිබුණි.

‘අගමැති ඉම්රාන් සහ අපේ රජය සාමකාමී යෝාජනාවලියක් සකස් කරමින් සිටිනවා. එය ලබන සතිය වෙද්දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපට විශ්වාසයි ඊට අනුමැතිය හිමිවේවි. අගමැති ඉම්රාන් උත්සාහ ගන්නේ දෙපාර්ශ්වයටම අවාසියක් නොවන අයුරින් ගැටුමකින් තොරව කාශ්මීර අර්බුදය විසඳීමටයි’ යැයි ෂිරේන් මසාරී අමාත්‍යවරිය පවසා තිබේ.
1947 වසරේ දී බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබද්දී, ඉන්දියාව දෙකඩ වූයේ මුස්ලිම් වැසියන් වෙනුවෙන් පාකිස්තානය නිර්මාණය කරමිණි. කාශ්මීරය සම්බන්ධයෙන් මෙහිදී අර්බුදයක් නිර්මාණය විය.

කාශ්මීරය ඉන්දීය පාලනය යටතේ ද පාකිස්තාන පාලනය යටතේ ද පවතී. එදා සිට මේ දක්වා කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවත් පාකිස්තානයත් අතර අවි ගැටුම් පවා නිර්මාණය වී ඇත. කාශ්මීර අර්බුදයට පැහැදිලි විසඳුමක් ලබා දීමට කිසිදු ඉන්දීය අගමැතිවරයකුට හෝ පාකිස්තාන අගමැතිවරයකුට හෝ හැකියාව ලැබී නැත.

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත්ව පාකිස්තාන අගමැති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් 2001 වසරේ දී, කාශ්මීර අර්බුදය විසඳීමට යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ඒ, එම වසරේ පැවැති අග‍්‍රා සමුළුවේදීය. ඒ වනවිට ඉන්දියාවේ අගමැති ධුරය හෙබවූයේ පසුගියදා අභාවප‍්‍රාප්ත වූ අතල් බිහාරි වජ්පායිය. එම සාම සැලැස්ම සාර්ථක නොවිණි.

 (එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS