ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කෙරේ



ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරමින් ගුණ සැමැරුම් උත්සව නවසීලන්තය පුරා අද (22) පැවැත්විණි.

ප්‍රධාන ගුණ සැමැරුම් උත්සවය පැවැත්වූයේ ක්‍රයිස්ට්චර්ච් නුවර ප්‍රහාරයට ලක් වුණු මුස්ලිම් පල්ලි දෙක කේන්ද්‍රකොට ගනිමිනි. ප්‍රහාරයෙන් පසු අද පැවැත්වුණු ගුණ සැමරුම් වෙනුවෙන් හානි සිදුවුණු එම මුස්ලිම් පල්ලි ප්‍රතිසංස්කරණය කර තිබුණි.

බ්‍රෙන්ටන් ටැරැන්ට් නමැති එම සුදු අන්තවාදියා ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකට කඩා වැදී වෙඩි තැබුවේ මීට සතියකට පෙර පසුගිය 15 වැනිදාය. සිදු කළ එම උමතු වෙඩි තැබීමෙන් මියගිය ගණන 50 කි.

ක්‍රයිට්ස්චර්ච් නුවර පමණක් නොව, වෙලිංටන් අගනුවරත්, ඕක්ලන්ඞ් නුවරත් විශේෂ ගුණ සැමැරුම් පැවැත්වුණු අතර, මිලියන 4.5 ක් නවසීලන්ත වැසියෝ මියගිය පිරිස සිහිකරමින් විනාඩි දෙකක නිහැඬියාවකට ද එක් වූහ. එම විනාඩි දෙකක කාලයේ මුළු නවසීලන්තයම නිහඬ වූ බවත්, දෛනික කටයුතු සියල්ල නවතා දැමුණු බවත් නවසීලන්ත පුවත් සේවා වාර්තා කරයි.

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, නවසීලන්ත මුස්ලිම් ප්‍රජාව සමඟ එක් වී පැවැත්වූ ගුණ සැමරුම එරට පුවත් සේවා ඔස්සේ සජීවී ලෙස ප්‍රචාරය කළ බව ද පැවැසෙයි.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS