කළු පෙට්ටිය හමුවෙයි



ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී මිනිත්තු කිහිපයක් යද්දී මුහුදට කඩා වැටුණු ‘ලයන් එයාර්’ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට කිමිඳුම්කරුවෝ සමත් වූහ.

‘කළු පෙට්ටිය’ යනුවෙන් හැඳින්වෙන්නේ පියසැරි දත්ත සියල්ල ගබඩා කෙරෙන කුඩා ඉලෙක්ට්‍රොනික උපංගයකි. යානය පුපුරා විනාශ වී ගියත් මෙම විනාශ වී නොයන අයුරින් මෙම උපාංගය සකසා ඇත.

‘කළු පෙට්ටිය’ යනුවෙන් හැඳින්වුවත්, මෙම උපාංගය දීප්තිමත් තැබිලි වර්ණයෙන් යුක්ත වෙයි. ඒ, ගුවන් යානයට අනතුරක් වුවහොත්, උපාංගය සුන්බුන් අතරින් පසුවෙන් වෙන් කර සොයා ගැනීමට හැකිවන අයුරිනි.
හිටිහැටියේ කඩා වැටුණේ බෝයිං 737 වර්ගයේ ‘ලයන් එයාර්’ ගුවන් යානයකි.

යානය ලයන් එයාර් ගුවන් සේවයට එක් කෙරුණු නවතම ගුවන් යානයක් බවත් එහි කිසිදු තාක්ෂණික හෝ ඉලෙක්ට්‍රොනික හෝ දෝෂයක් නොතිබුණු බවත් ලයන් එයාර් බලධාරීහු කියති. කෙසේ නමුත් යානයේ තාක්ෂණික දෝෂයක් තිබුණු බවට පැමිණිලි ලැබුණැයි ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා කර තිබේ.

යානට මුහුදට කඩා වැටුණු අවස්ථාවේදී, එතැන නිවැරදිව සොයා ගැනීමෙන් පසු නාවික හමුදාවේ ද සහාය ඇතිව දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ඇරැඹිණි. මුහුදට වැටුණු යානයේ සිටි පිරිස 189 කි. යානය රට අභ්‍යන්තර ගුවන් යානයකි. යානය ජකර්තා සිටපංග්කාල් පනාන්ග් නගරය බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. ඒ, පැයක ගුවන් ගමනකි.

මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියල්ලෝම ජීවිතක්ෂයට පත් වුණු බව මේ වනවිට තහවුරු වී තිබේ. කළුපෙට්ටිය හමුවීමෙන් පසු, යානයේ අනතුරට හේතුව කුමක්දැයි සොයා ගැනීමට හැකිවනු ඇති බව ලයන් එයාර් සමාගම පවසයි. ලයන් එයාර් සමාගම පමණක් නොව, ඉන්දුනීසියා රජය ද අනතුර සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වේ.

කඩා වැටීමට මොහොතකට පෙර, යානයේ කිසියම් දෝෂයක් හටගත් බව පෙන්වා දෙමින්, යානය ආපසු හරවා ගෙන එන්නදැයි ප්‍රධාන නියමුවා ජකර්තා ගුවන්තොටුපොළ බලධාරීන්ට විමසා ඇත. ගුවන් බලධාරීන්ට ඊට පිළිතුරක් දීමට පෙර යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වී ඇති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS