කසක්ස්තාන ජනපති නූර්සුල්තාන් ධුරයෙන් සමුගනී



වසර 29 ක පාලනය අවසන් කරමින්, ධුරයෙන් ඉවත්වීමට කසක්ස්තාන ජනාධිපති නූර්සුල්තාන් නසර්බයේව් තීරණය කළේය.

අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් කසක්ස්තානය, තෙල් සහ ඛනිජ සම්පත්වලින් බහුල රාජ්‍යයකි. 78 හැවිරිදි නූර්සුල්තාන් නසර්බයේව්, ස්වාධීන රාජ්‍යයක් වූ කසක්ස්තානයේ ජනාධිපති ධුරයට පත්වූයේ 1990 වසරේ අප්‍රේල් 24 වැනිදාය.

ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ කසක්ස්තාන ස්වාධීනව නැගී සිටීමට නායකත්වය දුන්නේ නූර්සුල්තාන් නසර්බයේව්ය. කසක්ස්තානයේ වාර්ගීය ජන කොටස් අතර සාමය ස්ථාපිත කරමින්, රටවැසියන්ගේ ඕනෑ එපාකම්වලට කන් දෙමින්, රුසියාව සමඟත් යුරෝපා රටවල් සමඟත් යහපත් සබඳතා සහ වෙළෙඳ ගනුදෙනු පවත්වා ගැනීමට නූර්සුල්තාන් නසර්බයේව් සමත් වූ බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනතා විශ්වාසය සහ ගෞරවය දිනූ නායකයකු ද වන නූර්සුල්තාන් නසර්බයේව්ට ඔහුගේ වසර 29 ක දීර්ඝ පාලන කාලයේදී කිසිවකුගෙන් හෝ අභියෝගයක් එල්ල නොවුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. අවසන් වරට කසක්ස්තානයේ ජනාධිපතිවරණය පැවැත්වූයේ 2015 දීය. එයින් ද නූර්සුල්තාන් නසර්බයේව් විශිෂ්ට ජයත් හිමිකර ගත්තේය.

‘ජනපති ධුරයෙන් ඉවත් වෙන්න මම තීරණය කළා. නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ක්‍රියාත්මක කරමින් ඉදිරියට යන්න නව පරම්පරාවට ඉඩ දිය යුතුයි.’ යැයි ධුරයෙන් ඉවත් වන බව දැනුම් දෙමින් රූපවාහිනියෙන් ජාතිය ඇමැතූ නූර්සුල්තාන් නසර්බයේව් පැහැදිලි කළේය.

ජනපති ධුරයෙන් ඉවත් වුවත්, නූර්සුල්තාන් නසර්බයේව් පාලක  පක්ෂයේ සභාපති ධුරය හොබවනු ඇති අතර, කසක්ස්තාන ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් දිගටම කටයුතු කරනු ඇත. ජනපති නූර්සුල්තාන් නසර්බයේව්ගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 2020 වසරේ අප්‍රේල් මාසයේය.

එතෙක් භාරකාර ජනාධිපති ලෙස කසක්ස්තාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ කතා නායක කසයිම් ජොම්මාර්ත් කටයුතු කරන බව ද පැවැසෙයි.

සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වී, ස්වාධීන රාජ්‍යයක් වූ කසක්ස්තානය අයත් වන්නේ මධ්‍යම ආසියාවටය. කැස්පියන් මුහුදේ සිට අල්ටියා කඳුකරය තෙක් විහිදෙන කසක්ස්තානය රුසියාවට පමණක් නොව චීනයට ද මායිම් වෙයි. කසක්ස්තානයේ අගනුවර අස්තානා වන නමුත් ප්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැලකෙන්නේ ඇල්මැටිය. මුදල් ඒකකය කසක්ස්තානී ටෙන්ජ් වන අතර 2017 වසරේ ලෝක බැංකුව කළ සංගනනයකට අනුව කසක්ස්තානයේ ජනගහනය මිලියන 18.4 කි.

ඇස්තානාහිදිය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS