කඩා වැටු‍ණු යානයේ මිලියන 30 ක නෝට්ටු



කුඩා දරුවන් 9 දෙනකු ඇතුළු 97 දෙනකුට මරු කැඳවමින්, මීට සතියකට පෙර, කරච්චි නුවර නිවාස සංකීර්ණයක් අසලට‍ කඩා වැටුණු පාකිස්තාන ගුවන් යානයේ තිබී පාකිස්තාන රුපියල් මිලියන 30 ක් වටිනා විවිධ රටවල මුදල් නෝට්ටු තොගයක් හමුවී ඇත.

මුදල් නෝට්ටු හමුවී ඇත්තේ, යානයේ සුන්බුන් පරීක්ෂා කරන පරීක්ෂකවරුන්ටය. අනතුර ගැන සෙවීමට සිවු පුද්ගල විශේෂ විමර්ශන කණ්ඩායමක් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් පත් කරනු ලැබ ඇත.

මෙතරම් විශාල මුදලක් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශවලට හොරෙන් යානයට ගෙන ආ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුවක් වී ඇත. ඒ සම්බන්ධයෙන් ද වෙනම පරීක්ෂණයක් ආරම්භ වී ඇත. මුදල් නෝට්ටු අසුරා තිබී ඇත්තේ විශාල බෑග දෙකකය.

ලාහෝර් සිට කරච්චි බලා පියාසර කළ යානයට කරච්චි ගුවන්තොටුපොළට ගොඩබෑමට නොහැකි විය. නියමුවන් යානය තෙවරක් ගොඩබෑමට උත්සහ ගත් බව ද පැවැසෙයි. එය කඩා වැටු‍ණේ ඉන්පසුවය. යානයේ සිටි මගීන්ගෙන් දෙදෙනෙක් පමණක් පිළිස්සුම් තුවාල ලබා දිවි ගලවා ගත්හ.

ගුවන් අනතුරින් මියගිය පුද්ගලයන් අතරින් හඳුනා ගැනීමට හැකි වී ඇත්තේ 43 දෙනකු පමණි. 47 දෙනකුගේ සිරුරු හඳුනා ගත නොහැකි අයුරින් විනාශ වී ඇති බව බලධාරීහු කියති.

මේ වනවිට ගුවන් යානයේ පියසැරි දත්ත සහ නියමුවන්ගේ පණිවුඩ හුවමාරු පටිගත වන කළු පෙට්ටිය බලධාරීන්ට හමුවී ඇත. ඒ අනුව, අනතුරට හේතුව සොයා ගැනීමට හැකි වනු ඇති බව පැවැසෙයි. මූලික විමර්ශන අනුව යානය කඩා වැටී ඇත්තේ තාක්ෂණික දෝෂයක් නිසා යැයි ද පැවැසෙයි.

කරච්චි නුවරදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS