ඕස්ටේ‍්‍රලියා අගමැතිට අභියෝගයක්



ඕස්ටේ‍්‍රලියා අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වය අභියෝගයට ලක්වුණු අතර, පැවැති ඡුන්ද විමසුමේදී, ටර්න්බුල්ට පක්ෂව ඔහුගේ ලිබරල් පක්ෂ සාමාජිකයෝ 48 ක් සහාය පළ කළහ. විරෝධය දැක්වූයේ 25 දෙනකු පමණි.

 ඕස්ටේ‍්‍රලියාවේ පාලක පක්ෂය වන ලිබරල් පක්ෂයේ නායකත්වයට ටර්න්බුල් සුදුසු නැති බව පවසමින්, ඔහුගේ නායකත්වය අභියෝගයට ලක් කළේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන්ය.

පක්ෂය අභ්‍යන්තරයේ කළ ඡුන්ද විමසුමේදී ටර්න්බුල් පරාජයට පත් වූයේ නම්, ඔහුට පක්ෂ නායකත්වය පමණක් නොව, අගමැති ධුරය ද අහිමි වීමේ අවදානමක් පැවැතිණි.

ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරය හිමුවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මෙම ඡුන්ද විමසුමෙන් ටර්න්බුල් පරාජයට පත් වූයේ නම්, ඩටන් පාලක පක්ෂයේ නායකයා බවටත් ඉන්පසු අගමැතිවරයා බවටත් පත්වීමට ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡන්ද විමසුමෙන් ටර්න්බුල් ජය ලැබීමත් සමඟ තමන් තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් පක්ෂයේ පසුපෙළ අසුන් ගන්නා බවත් පීටර් ඩටන් පවසා ඇත. පුරප්පාඩු වුණු ස්වදේශ කටයුතු අමත්‍ය ධුරය මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන ස්කොට් මොරිසන්ට ලබා දීමට අගමැති ටර්න්බුල් කටයුතු කළේය. නායකත්වය අභියෝගයට ලක් වීමෙන් පසු, අගමැති ටර්න්බුල් පක්ෂ සාමාජිකයන් අමතමින් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, පක්ෂය තුළ බෙදීම් ඇති නොවීමට කටයුතු කළ යුතු බවය.

අගමැති මයිකල් ටර්න්බුල්ගේ නායකත්වය අභියෝගයට ලක් වූයේ, ඔහුගේ නව ප‍්‍රතිපත්ති මුල්කොට ගනිමිනි. කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අගමැති ටර්න්බුල් සකස් කළ නව ප‍්‍රතිපත්ති පසුගිය සතියේ අභියෝගයට ලක් විය.

පසුගිය කාලය පුරාවට  ඕස්ටේ‍්‍රලියා දේශපාලනයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත‍්‍රණ සිදුවිය. 2015 වසරේදී, ටර්න්බුල් පක්ෂ නායකත්වයට පමණක් නොව,  ඕස්ටේ‍්‍රලියා අගමැති ධුරයට ද පත් වූයේ අගමැති ධුරයේ සිටි ටෝනී ඇබට්ගේ නායකත්වය අභියෝගයට ලක් කෙරුණු නිසාය.

මැල්කම් ටර්න්බුල්ගේ පමණක් නොව, ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව ලෙස 2007 වසරේ සිට කටයුතු කරන ජූලි බිෂොප්ගේ නායකත්වය ද අභියෝගයට ලක් කෙරුණි. ඇය සම්බන්ධයෙන් ද ඡුන්ද විමසුමක් පැවැත්වුණු අතර, එයින් ඇය ජයග‍්‍රහණය කළාය.  ඕස්ටේ‍්‍රලියාවේ විදේශ ඇමැතිනිය ලෙස කටයුතු කරන්නේ ද ජූලි බිෂොප්ය.

 (රොයිටර්)


RECOMMEND POSTS