ඕනෑම කෙනකුට වෙඩි තියන්න



වසා දැමුණු දේශසීමා හරහා පැමිණෙන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුදාවට අණ දී ඇත.

උතුරු කොරියා නායකයා මෙසේ අණ දී ඇත්තේ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්, උතුරු කොරියාවට ඇතුළු වී, උතුරු කොරියාව තුළ වයිරසය ව්‍යාප්තවීමට ඇති ඉඩකඩ අවහිර කිරීමටය.

අද වනතුරු උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැති බවත්, කොරියානු සෞඛ්‍ය අංශ උතුරු කොරියානු වැසියන් පීසීආර් පරීක්ෂණවලට යොමු කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

යම් හෙයකින් උතුරු කොරියාවේ කොරෝනා වසංගත තත්ත්වයක් හටගත්තොත්, එවැනි තත්ත්වයකට මුහුණ දීමට උතුරු කොරියානු සෞඛ්‍ය අංශ ශක්තිමත් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය.

ජාත්‍යන්තර සම්භාධක හමුවේ උතුරු කොරියාව ඇයිහොඳයිකම් පවත්වන අසල්වැසියා චීනයයි. චීනයේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව චීනය සමඟ දේශසීමා වසා දැම්මේය. අනවසරයෙන් චීනයේ සිට කිසිවකුට උතුරු කොරියාවට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර, උතුරු කොරියාවේ සිටි විදේශිකයන් දින 21 ක් නිරෝධායනයේ තබා ඔවුනොවුන්ගේ රටවලට ආපසු යැවිණි.

දකුණු කොරියාවේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් පවසා ඇති අන්දමට උතුරු කොරියානු හමුදාවේ විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රහාරක බලඇණියේ සොල්දාදුවන් දේශසීමාවේ සීරුවෙන් රඳවා ඇතැයි පැවැසෙයි.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS