එවරස්ට් තරණයට නව නීති සකස් කෙරේ



සිදුවන අනතුරු ඉහළ යෑම සැලකිල්ලට ගනිමින්, ලොව උසම ශිඛරය වන එවරස්ට් තරණය සඳහා නව නීති සකස් කරන බව නේපාල රජය පවසයි.

නේපාල රජය මෙම නව නීති සකස් කරනු ඇත්තේ, විශේෂ උපදේශක මණ්ඩලයක නිර්දේශ සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි. ඒ අනුව, මින් ඉදිරියට එවරස්ට් ශිඛරය තරණය කිරීමට අවසර ලබා දෙන්නේ, කඳු නැගීම සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති කඳු නගින්නන්ට පමණි.

එවරස්ට් ශිඛරය තරණයට බොහෝ දෙනා පැමිණිනෙන්නේ නේපාලය දෙසිනි. ලොව උසින් වැඩිම ශිඛර 14 ක් ඇති අතර එයින් නවයක් පිහිටා ඇත්තේ නේපාලයට අයත් හිමාල අඩවියේය.

මින් ඉදිරියට කඳු නගින්නන් වෙනුවෙන් මුදල් අය කිරීමක් ද සිදු කිරීමට මෙම විශේෂ මණ්ඩලය යෝජනා කර ඇත. එම මුදල ඇමෙරිකන් ඩොලර් 35,000 කි. ඊට අමතරව හිමාල අඩවියට අයත් මීටර් 800 ට වඩා උස වෙනත් ඕනෑම ශිඛරයක් තරණය කිරීමට ඇමෙරිකන් ඩොලර් 20,000 ක මුදලක් අය කිරීමට විශේෂ මණ්ඩලය යෝජනා කර ඇත.

එවරස්ට් තරණය සම්බන්ධයෙන් මෙසේ නීති සකස් කිරීමට සිදුවී ඇත්තේ එවරස්ට් තරණයට ගොස් මියයන සහ අතුරුදන් වන කඳු නගින්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙනි.  මීට මාස කීපයකට පෙර එවරස්ට් ශිඛරය තරණයට ගිය 11 දෙනෙක් අතුරුදන් වූහ.

කත්මණ්ඩු නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS