උතුරු-දකුණු කොරියා විදෙස් ඇමැති හමුවක්



අග්නිදිග ආසියානු රටවල විදේශ ඇමැතිවරුන් සහභාගී වන ‘ආසියාන්’ සමුළුව පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වුණු අතර, සමුළුවට සමගාමීව ඊට සහභාගී වූ උතුරු කොරියානු විදේශ ඇමැති සහ දකුණු කොරියානු විදේශ ඇමැතිනිය අතර හමුවක් ද පැවැත්විණි.

උතුරු කොරියා විදේශ ඇමැති රී යොංග් හෝ සහ දකුණු කොරියානු විදේශ ඇමැතිනී ක්යංග් වා අතර පැවැති එම හමුව සුවිශේෂී එකක් විය. එදිරිවාදිකම් මැද දෙරටේ විදෙස් ඇමැතිවරුන් අතර වසර ගණනකට පසු පැවැති පළමු හමුව මෙය යැයි පැවැසෙයි.

කොරියානු යුද්ධයෙන් පසු උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන්වුණත්, උතුරු සහ දකුණු කොරියාවේ සිටින්නේ එකම ජාතියකි. වත්මන් දකුණු කොරියානු රජය උත්සාහ ගන්නේ උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටය. උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් විදේශ ඇමැතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.

මැනිලා නුවර පැවැති ‘ආසියාන්’ විදේශ ඇමැතිවරුන්ගේ හමුවට ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද සහභාගී විය. ඇමෙරිකාව මේ වනවිට උතුරු කොරියාවට නව සම්බාධක පනවා ඇත. ඒ, උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් ලොවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි.

පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස්වී උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට තීරණයක් ගත්තේය. එහිදී උතුරු කොරියාවේ මිතුරකු වන චීනය ද සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් කැමැත්ත පළ කළේය. රුසියාව ද ඇමෙරිකාවට සහාය දක්වමින් උතුරු කොරියාවට සම්බාධක පැනැවිය යුතු බව කියා සිටියේය.

ආසියාන් සමුළුවට සහභාගී වුණු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, උතුරු කොරියා විදේශ ඇමැතිවරයා මුහුණට මුහුණ හමුනොවී මඟ හැරීමට කටයුතු කළේය. ‘ආසියාන්’ සමුළුවට පැමිණි විදෙස් ඇමැතිවරුන් සහ නියෝජිතයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. උතුරු කොරියා විදේශ ඇමැතිවරයා ඊට සහභාගී වූ නිසා ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊට සහභාගී නොවුණු බව ද වාර්තා වේ.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS