උතුරු කොරියාව අලුත් මිසයිලයක් අත්හදා බලයි



තම හමුදා ශක්තිය තරකර ගැනීමේ අරමුණින්, යුද ශීර්ෂයක් සවි කළ මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද (18) නිවේදනය කළේය.

මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇතැයි පැවැසෙන්නේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ යැයි ද පැවැසිණි. මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ අසල්වැසි දකුණු කොරියාව විමසිල්ලෙන් පසුවුණු බවත් ඒ ගැන කනස්සල්ල පළ කළ බවත් වාර්තා විය.

තමන් සාමයට කැපවී සිටින බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවධාරණය කර ඇත. ලොවට අනතුරක් වන අයුරින් දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලීම් පමණක් නොව, න්‍යෂ්ටික අත්හදා බැලීම් ද නවතා දැමීමට පිටවර ගෙන ඇති බව නායක කිම් ජොන් උන් ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පවසා තිබේ. මේ වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යහපත් සබඳතා පවතින්නේ, උතුරු කොරියා නායකයාගේ නම්‍යශීලී ප්‍රතිපත්ති නිසාය.

උතුරු කොරියාව කෙරෙහි ලෝකයේ අවධානය යොමු වී බැවින් යළිත් වරක් උතුරු කොරියානු රජය දිගු දුර මිසයිල අත්හදා බැලීම් නොකරනු ඇති බව දේශපාලන සහ යුද විශ්ලේෂකයන්ගේ අදහසය.

උතුරු කොරියාව අද (18) අත්හදා බලා ඇත්තේ කෙටි දුර මිසයිලයකි. උතුරු කොරියාව යළිත් දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් කළොත් එය ඔවුන්ට අවාසිසහගත වනු ඇති බව ද යුද විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙන් පමණක් නොව, චීනයේ ද අනුග්‍රහය යටතේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් දෙවරක් එකිනෙකා හමුවූහ.

පළමු හමුව සිදුවූයේ පසුගිය ජූනි මාසයේදී සිංගප්පූරුවේදීය. එම හමුවේදී උතුරු කොරියා නායකයා පොරොන්දු වූයේ සියලු න්‍යෂ්ටික කටයුතු සහ දිගු දුර මිසයිල අත්හදා බැලීම් නවත්වන බවටය. ඒ අනුව, උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු ඇරැඹීය.

පළමු හමුවේ ප්‍රගතිය බැලීමේ අරමුණ ඇතිව කිම් ජොන් උන් සහ ට්‍රම්ප්ගේ දෙවැනි හමුව පසුගිය පෙබරවාරියේ, වියට්නාමයේ හැනොයි අගනුවරදී පැවැත්ණි. ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොවන බව එහිදී අනාවරණය විය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුණ නියෝජිතයන් ඉල්ලා සිටියේ, ඇමෙරිකාව පනවා ඇති සම්බාධකවලින් කිහිපයක් ලිහිල් කරන ලෙසටය.

ට්‍රම්ප් ඊට දැඩි ලෙස විරුද්ධ වූ අතර හැනොයි නුවර පැවැති සමුළුව අසාර්ථක විය. ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ, උතුරු කොරියාව මුළුමනින්ම ඔවුන්ගේ න්‍යෂ්ටික අවි කටයුතු නවතා දැමුවොත් පමණක්, එරටට ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ලිහිල් කරන බවය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් මීට දින කීපයකට පෙර කියා සිටියේ මේ වසර අවසන් වනතුරු ඇමෙරිකාවට තීර්ණයක් ගැනීමට ඉඩ දෙන බවත්, පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරන බවත්ය.

සෝල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS