ඊජිප්තුවේ තිහකට මරණ දඩුවම් !



ඊජිප්තුවේ නීතිපතිවරයා මරා දැමීම සඳහා හවුල් වූ තිස්දෙනෙකුට මරණ දඬුවම ලබා දෙන ලෙස කයිරෝ නුවර අධිකරණයක් නිර්දේශ කරයි.

ඊජිප්තු නීති ප්‍රකාරව ඔවුන්ට මරණ දඬුවම ලබා දීමට පෙර එම අධිකරණ නිර්දේශය ඊජිප්තුවේ ඉහළ ම ආගමික අධිකාරිය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගතයුතු වේ.

එවකට ඊජිප්තුවේ නීතිපතිවරයා වූ හිශාම් බැරකාත් මෝටර් රථ බෝම්බයකින් ඝාතනය කෙරුණේ 2015 ජුනි මාසයේදී ය.වසර 2013 දී ඊජිප්තුවේ පැවති රජය පෙරළා දැමීමෙන් අනතුරුව මෙම නීතිපතිවරයා විසින් ඉස්ලාමීය සංවිධානයක් වූ මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් දහස් ගණනකට එරෙහිව නඩු ගොනුකරන ලදී.

එම නඩු විභාග කිරීමෙන් අනතුරුව මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් දහස් ගණනකට මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම හිමි විය.මුස්ලිම් සහෝදරත්වය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය එක්ව නීතිපතිවරයා මරා දැමූ බවට ඊජිප්තුවේ වත්මන් ආණ්ඩුව චෝදනා කරෙනමුත් එම සංවිධාන දෙකම ආණ්ඩුව එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කර සිටිති.

මෙම ඝාතනයට තමන් හවුල් වූ බවට පාපොච්චාරණය කරන පිරිසක් දැක්වෙන වීඩියෝ පටයක් ඊජිප්තුවේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යංශය විසින් ප්‍රසිද්ධ කරන ලදී.එම ඝාතනයට පෙර තමන් ගාසා තීරයට ගොස් හමාස් සංවිධානය යටතේ පුහුණුව ලැබූ බවත්, ඔවුන් ප්‍රකාශ කරන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වේ.නමුත් ඉන් ඇතැමෙක් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ තමන්ට වධ හිංසා පැමිණවූ බැවින් එම ප්‍රකාශය කළ බවය.
 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.....

 


RECOMMEND POSTS