ඉවාන් ඩූකේ දිවුරුම් දෙයි



ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ ජනාධිපති ලෙස ඉවාන් ඩූකේ දිවුරුම් දුන්නේය.

රටේ දූෂණ වංචා නැවැත්වීමටත්, දිළිඳුබව නැති කිරීමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් ඩූකේ ප්‍රතිඥා දුන්නේය. ඉවාන් ඩූකේ ජයග්‍රහණය කළේ පසුගිය ජූනි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි.

ඩූකේ නියෝජනය කරන්නේ ඩිමෙක්‍රටික් පක්ෂයයි. ජනාධිපතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ වාමාංශික අපේක්ෂක ගුස්ටාෆ් පෙට්‍රෝය. ඉවාන් ඩූකේ හිටපු නීතිඥවරයෙකි.

ෆාක් ගරිල්ලන් සමඟ පවතින අර්බුදයට දේශපාලනමය සාම විසඳුමක් ලබා දීමට ඉවාන් ඩූකේ පොරොන්දු වී ඇත. දශක 6 ක දරුණු අවි ගැටුම්වලින් පසු 2016 වසරේ සිට තවමත් ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියා රජය අතරේ මේ වනවිට සාකච්ඡා පැවැත්වෙයි.

සාම සාකච්ඡා සඳහා ගරිල්ලන් කැමැති කර ගත්තේ ධුරයෙන් ඉවත් වුණු ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ය. සැන්ටෝස්ට ඒ වෙනුවෙන් එම වසරේ නොබෙල් සාම ත්‍යාගය ද හිමිවිය. ධුරයෙන් සමුදෙන අවස්ථාවේදී සැන්ටෝන්, නව ජනාධිපති ඩූක්ගෙන් ඉල්ලීමක් කළේ එම සාම ගිවිසුමට ගරු කරන ලෙසය.

පසුගිය ඉරිදා වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ ඝාතන තැතක් සිදුවිය. ඒ පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා යොදා ගනිමිනි. එම ඝාතන සැලැස්ම අසාර්ථක විය. තමා ඝාතනය කිරීමට උත්සාහ ගත්තේ වෙනිසියුලා විපක්ෂ ක්‍රියාකාරීන් යැයි ජනාධිපති මදුරෝ චෝදනා කළේය. එම විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දෙන්නේ කොලොම්බියාව සහ කොලොම්බියා ජනාධිපති සැන්ටෝස් බවත්  ජනාධිපති මදුරෝ චෝදනා කරයි.

42 හැවිරිදි වියෙහි පසුවන ඩූකේ දරු තිදෙනකුගේ පියෙකි. ඔහු බිරිඳ යුලියානා රුවීස් සහ දියණියන් දෙදෙනා සහ පුතු සමඟ නිල ඡායාරූපයකට ද පෙනී සිටියේය. එම නිල ඡායාරූපය මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

කොලොම්බියාවේ ජනපති ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද ඩූකේය. ඩූකේ සමඟ ඔහුගේ පක්ෂයෙන් ජනපතිවරණයට පිවිසි මාර්තා ලුසියා රමීරේස් උප ජනපති ධුරයේ දිවුරුම් දුන්නාය. කොලොම්බියාවේ උප ජනාධිපති ධුරයට කාන්තාවක තේරී පත් වුණු පළමු අවස්ථාව මෙයයි.

(රොයිටර්)


RECOMMEND POSTS