ඉම්රාන් මෝදිට ලියයි



නවතා දැමුණු ඉන්දු පාකිස්තාන සාම කතා යළි ආරම්භ කළ යුතු යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය තව නොබෝ දිනකින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වෙයි. එම සැසිය අතරතුරේ, ඊට සහභාගී වන ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ පාකිස්තාන විදේශ ඇමැති මෙහ්මූස් කුෂේරි එකිනෙකා හමුවී, සාම කතා ආරම්භ කළ යුතු යැයි ඉම්රාන් ඛාන් යෝජනා කර ඇත.

අසල්වැසි ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වා කාශ්මීර අර්බුදයට පැහැදිලි මෙන්ම සාධාරණ විසඳුමක් සොයා ගැනීමට කටයුතු කරන බව ඉම්රාන්ගේ ඡන්ද පොරොන්දුවකි.

2015 වසරේ දෙසැම්බරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ඉන්දියාවේ පතන්කූට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන සබඳතා මුළුමණින්ම අඩපණ විය. දෙරට අතර යුද උණුසුමක් පවා නිර්මාණය විය.
පසුගිය අගමැති නවාෂ් ෂරීෆ්ගේ රජය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට අනුග්‍රහය දක්වනවා යැයි ඉන්දීය රජය නිරන්තරයෙන් චෝදනා කළේය.

කාශ්මීර අර්බුදයට විසඳුමක් සොයමින්, සාම සාකච්ඡා පවත්වා යහපත් සබඳතා ඇති කර ගැනීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් දක්වන කැමැත්ත ලෝක දේශපාලන විශ්ලේෂකයන්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS