ඉම්රාන් චීනයේ



යහපත් සබඳතා ඇති කර ගැනීමේ අරමුණින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, චීනයේ බීජිං අගනුවර බලා පැමිණියේය. පාකිස්තාන අගමැති ධුරයට පත් වීමෙන් පසු ඉම්රාන්, චීනයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

පාකිස්තාන අගමැතිවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ චීන අගමැති ලී කෙකියැං විසිනි. පාකිස්තාන අගමැතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණැයි චීන පුවත් සේවා වාර්තා කර ඇත.

ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ධුරයට පත් වෙද්දී, රට ආර්ථික වශයෙන් අර්බුද රැසකට මුහුණ පා තිබුණි. එම ආර්ථික අර්බුදවලින් මිදීමට පාකිස්තානයට තවමත් හැකියාවක් ලැබී නැත. පාකිස්තානය මේ වනවිට සෞදි අරාබියෙන් ද මූල්‍ය ආධාර ලබා ගැනීමට කටයුතු කර තිබේ.

පසුගිය නවාස් ෂරීෆ් රජය චීනය සමඟ හවුල් වී, ණය ලබා ගනිමින් ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ. අගමැති ඉම්රාන් පවසා ඇත්තේ, රටට බරක් වන එම ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑම සිදු නොකරන බවය.

පාකිස්තානයට මූල්‍යාධාර ලබා දීමට තමන් සූදානමින් සිටින නමුත් ඒ සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ රජය සමඟ දිගින් දිගට සාකච්චා පැවැත්විය යුතු බව චීන අගමැතිවරයා වැඩි දුරටත් පවනා ඇත.

කෙසේ නමුත් හැකි සෑම අයුරින් ම පාකිස්තානය සහාය දැක්වීම චීනයේ අභිලාෂය බවටත්, පාකිස්තානයට ඔවුන්ගේ ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය දක්වන බවටත් චීන අගමැති ලී කෙකියැං අගමැති ඉම්රාන් ඛාන් හමුවේ පොරොන්දුවක් දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS