ඉම්රාන් ගෙදර යන්නේ හෙලිකොප්ටරයෙන්



ජනතාව දුක් විඳිද්දී සැප ජීවිතයක් ගත කළ නොහැකි බව කියමින්, අගමැති මන්දිරය මෙන්ම සැප ගුවන් ගමන් ද ප‍්‍රතික්ෂේප කළ පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන්, ඔහුගේ පෞද්ගලික නිවසේ සිට කිලෝ මීටර් 15 ක් දුරින් ඉස්ලාමාබාද් අගනුවර පිහිටි නිල නිවස බලා ගමන් කරන්නේ හෙලිකොප්ටරයෙන් යැයි වාර්තා වේ.

ජනතාවට ප‍්‍රමුඛත්වය දී, අගමැතිවරයා, ජනපතිවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨයන්ගේ වියදම් කප්පාදු කිරීමට ඉම්රාන්, අගමැති ධුරයේ දිවුරුම් දෙමින් පොරොන්දු විය.

පාකිස්තාන අගමැතිවරයාට හිමි මාලිගාවක් බඳු අගමැති මන්දිරය එපා කී ඉම්රාන් ඔහුගේ නිල නිවස ලෙස තෝරා ගෙන ඇත්තේ කාමර තුනකින් සමන්විත හමුදා ලේකම්වරයාගේ නිවසය. අගමැති මන්දිරය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට ද ඉම්රාන් ප‍්‍රතිඥා දී තිබේ.

ඉම්රාන්ගේ හෙලිකොප්ටර් ගමන් බිමන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැති ෆවුවාද් චෞද්‍රි මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කර තිබේ. 

”අගමැති ඉම්රාන් ඔහුගේ පෞද්ගලික නිවසේ සිට නිල නිවසට යන්නේත් එන්නෙත් හෙලිකොප්ටරයෙන් බව ඇත්ත. ඔහු එහෙම කරන්නේ ආරක්ෂක ප‍්‍රධානීන්ගේ උපදෙස් මත. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේමයි හෙලිකොප්ටරය වැඩි වියදම් එකක් නොවෙයි. කිලෝ මීටරයකට වැය වන්නේ පාකිස්තාන රුපියල් 55 ක් (ශ්‍රී ලංකා රුපියල් 72) පමණයි.” යැයි ජනමාධ්‍ය ඇමැතිවරයා පවසා ඇත.

ජනමාධ්‍ය ඇමැතිවරයාගේ මෙම පැහැදිලි කිරීමත් සමඟ සමාජ ජාල ඔස්සේ අගමැති ඉම්රාන් ඛාන් දැඩි ලෙස විවේචනයට ලක් වුණැයි ද පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. ‘එතරම් අඩු මුදලකට හෙලිකොප්ටර් ගමන් බිමන් යා හැකි නම් තමන් ද උදේ සවස වාහන තදබදයෙන් බේරී රාජකාරි යෑමට හෙලිකොප්ටර් භාවිතා කරනවා’ යැයි ඇතැමුන් පවසා තිබේ.

මේ අතර අගමැතිවරයා භාවිතයට ගනු ලබන ඔගස්ටා වෙස්ට්ලන්ඞ් ඒ.ඩබ්ලිව් 139 හෙලිකොප්ටරයේ වියදම් සම්බන්ධයෙන් තමන් සොයා බැලූ බව බී.බී.සී. උර්දු සේවය පවසා ඇත. ඒ අනුව, කිලෝ මීටරයක් සඳහා එම හෙලිකොප්ටර් සේවය පාකිස්තාන රුපියල් 1,600 ක මුදලක් අය කරන බව තමන්ට දැනගැනීමට ලැබුණු බව බී.බී.සී. උර්දු සේවය වැඩි දුරටත් අනාවරණය කර තිබේ.

(රොයිටර්/බී.බී.සී.)

 


RECOMMEND POSTS