ඉන්දීය නව ජනපති රාම් නාත් කෝවින්ද්



ඉන්දියාවේ නව ජනාධිපති ලෙස පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉදිරිපත් කළ අපේක්ෂක රාම් නාත් කෝවින්ද් ජයග්‍රහණය කළේය.

ඉන්දියාවේ ජනපති තෝරා ගැනීම සිදු කරන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේත්, පහළ මන්ත්‍රී මණ්ඩල සභාව වන ලෝක් සභාවේත්, සෙසු ප්‍රාන්ත මන්ත්‍රණ සභා සාමාජිකයන්ගේත් ඡන්දයෙනි. ජනපතිවරණය පැවැත් වූයේ පසුගිය 17 වැනිදාය. පෙර දැනුම් දී තිබුණු අයුරින් එහි ප්‍රතිපල මීට සුළු මොහොතකට පෙර නිකුත් කෙරුණු අතර, රාම් නාත් කෝවින්ද් සියයට 65.6 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණි.

71 හැවිරිදි රාම් නාත් කෝවින්ද් නියෝජනය කරන්නේ ඉන්දියාවේ කුල හීන ජන වර්ගයක් ලෙස සැලකෙන දාලිත් ජන වර්ගයයි. රාම් නාත් කෝවින්ද් ඉන්දීය ජනපති ධුරයට පත්වන්නේ දාලිත් ප්‍රජාව නියෝජනය කරමිණි. රාම් නාත් කෝවින්ද් 2015 වසරේ සිට බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.

දාලිත් ප්‍රජාව නියෝජනය කරමින් ජනපති ධුරයට පත් වුණු දෙවැනියා රාම් නාත් කෝවින්ද් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

1997 වසරේ සිට 2002 තෙක් ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු කේ.ආර්. නාරායන් ද දාලිත් ප්‍රජාව නියෝජනය කළ අයෙකි.

රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14 වැනි ජනපති ලෙස දිවුරුම් දෙනු ඇත්තේ ලබන 25 වැනිදාය.

ඒ අනුව, ජනපති ධුරයේ කටයුතු කරන ප්‍රණාබ් මුඛර්ජීගේ ධුර කාලය එදින අවසන් වනු ඇත. ඉන්දීය ජනපතිවරයකුගේ ධුර කාලය වසර 5 කි.

ජනපති ධුරය සඳහා වෙන් වෙන්ව භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය වන ඉන්දීය ජාතික කොංග්‍රසය අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් කර තිබුණි. ඉන්දීය ජාතික කොංග්‍රසය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු හිටපු කතා නායිකාවක ද වන මීරා කුමාර්ය.

එන්.ඩී.ටීවී

 


RECOMMEND POSTS