ඉන්දියාවේ රෝගීන්ට ඩෙක්සෝමෙතසෝන්



බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා තිබේ.

ඉන්දීය රජය මෙසේ පැවැසුවේ ඩෙක්සමෙතසෝන් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම ආරක්ෂිත බව ඉන්දීය වෛද්‍ය සභාව නිර්දේශ කිරීමෙන් අනතුරුවය.

මේ වනවිට ලොව පුරා ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසය ආසාදිත මරණ ලක්ෂ 5 පසු කර ඇත. ආසාදිතයන් ගණන කෝටිය ඉක්මවා ඇත. පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 18,552 කි.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සඳහා මෙතෙක් නිසි එන්නතක් හෝ ඔසුවක් හෝ සොයා ගෙන නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා නිවේදනය කළේ වයිරසය විනාශ කළ හැකි එන්නතක් නිසැකම නිර්මාණය වනු ඇති නමුත් එසේ නිර්මාණය වීමට තව වසරක කාලයක් ගත වනු ඇති බවය.

එවැනි අවස්ථාවක ‘ඩෙක්සෝමෙතසෝන්’ ඔසුවට ‘කොවිඩ් 19’ අඩපණ කළ හැකි බව පළමුවෙන් ලොවට පැවැසුවේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ය. ‘ඩෙක්සෝමෙතසෝන්’ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූයේ ඉන් පසුවය. ‘

ඩෙක්සෝමෙතසෝන්’ වෛද්‍ය නිර්දේශ අනුව මෙය ෆාමසි එසේත් නැතිනම් ඔසුසැල්වලින් ලබා ගත හැකිය. වෛද්‍යවරුන් ‘ඩෙක්සෝමෙතසෝන්’ නිර්දේශ කරන්නේ ඇදුම, පෙනහළු ආසාදන ඇතුළු රෝගී තත්ත්වයන් රැසක් සඳහාය. අක්ෂි සැත්කම්වලින් පසුව ද ‘ඩෙක්සෝමෙතසෝන්’ නිර්දේශ කෙරේ.

‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පරාජය කිරීමට හැකි බව බ්‍රිතාන්‍ය වෛද්‍ය තීරණය කළේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් 5,000 ක් තෝරා ගනිමින් ඔවුන්ට ‘ඩෙක්සෝමෙතසෝන්’ ලබා දීමෙනි. මරණ මංචකයේ පසුවන රෝගීන් බොහොමයකගේ ජීවත බේරා දීමට ‘ඩෙක්සෝමෙතසෝන්’ සමත් වුණු බව එහිදී තහවුරු විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් ඇති නොකරන බව ද හෙළි විය‍.

ඉන්පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ‘ඩෙක්සෝමෙතසෝන්’ සම්බන්ධයෙන් සොයා බැලූ අතර, ‘කොවිඞ් 19’ ආසාදිතයන්ට එය ලබා දීමට සුදුසු බව නිර්දේශ කෙරුණි. ඒ අනුව, ‘ඩෙක්සෝමෙතසෝන්’ ස්වසන අපහසුතා ඇති, ‘කොවිඞ් 19’ ආසාදිතයන්ට ලබා දෙන්නැයි නියම කළ පළමු රට ඉන්දියාව යැයි විදෙස් පුවත් සේවා ‍සඳහන් කරයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී‍)


RECOMMEND POSTS