ඉන්දියාවේ ගාඩනැගිල්ලක් කඩා වැටී 10 ක් මරුට



ඉන්දියාවේ තුන් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතරේ සිරවූහ. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි.

කඩා වැටුණේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, මුම්බායි අගනුවරට නුදුරින්, තානේ දිස්ත්‍රික්කයේ, බිවන්දි නගරයේ පිහිටි තුන්මහල් ගොඩනැගිල්ලකි.

නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන්, ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙලි වී ඇත. ගොඩනැගිල්ල වසර 40 ක් පැරැණි එකකි. එහි පවුල් 20 පදිංචිව සිටි බව පැවැසෙයි.

සුන්බුන් අතර සිරවුණු 25 දෙනකු බේරා ගැනීමට ගිනි නිවන හමුදා භටයන්, ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු සහන සේවකයෝ සමත් වූහ.

සුන්බුන් අතරේ සිරවුණු පිරිස් සෙවීමට නිල සුනඛයන් ද යොදවා ඇත.

ගොඩනැගිල්ල කඩා වැටුණේ අද (21) අලුයම 3.40 ට පමණය.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් විපතට පත්වූහන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කනගාටුව පළ කළේය. ඒ, ට්විටර් ගිණුම ඔස්සේය. සුන්බුන් අතරේ සිරවූ පිරිස් බේරා ගැනීමට සහන සේවකයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ද අග්‍රාමාත්‍ය මෝදි ප්‍රාර්ථනා කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS