ඉන්දියාවට ඇමෙරිකන් ඩොලර් බිලියනයක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්වූ ඉන්දියාවට ඇමෙරිකන් ඩොලර් බිලියනයක හදිසි ආධාර මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමිවී තිබේ.

වයිරසයෙන් පීඩාවට පත් වූ රටවල් හඳුනා ගනිමින් එම රටවලට මුදල් ආධාර ලබා දීමේ නව වැඩිපිළිවෙළක් ලෝක බැංකුව ආරම්භ කර ඇති අතර, ඉන්දියාවට මුදල් ආධාර ලැබෙන්නේ එහි පළමු පියවර යටතේය.

‘ලබා දෙන මෙම මුදල් ආධාර යටතේ ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල් මෙන්ම ක්‍රමවත්ව සිදු කිරීමට ඉන්දියානු රජයට හැකිවේවි. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට හැකිවේවි’ යැයි ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊයේ (2) වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,5463 කි. ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 72 කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 200 කට ආසන්නය.

මීට අමතරව, ශ්‍රී ලංකාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 128.6 ක් ද, පාකිස්තානයට මිලියන 200 ක්  ද, ඇෆ්ගනිස්තානයට මිලියන 100 ක් ද මාලදිවයිනට මිලියන 7.3 ක් ද ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,421 කි. ඊයේ (2) වනවිට මරණ සංඛ්‍යාව 34 ක් යැයි වාර්තා විය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 125 කි.

ඇෆ්ගනිස්තානයෙන් වයිරස ආසාදිතයන් 273 ක් හඳුනාගෙන ඇති අතර මරණ 6 ක් වාර්තා වේ. සුවය ලැබූ ගණන 10 ක් බව ඇෆ්ගන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මාලදිවයින දූපත් රාජ්‍යයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 19 දෙනකු සිටින බව පැවැසෙයි. මරණ කිසිවක් වාර්තා වී නැත. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 13 කි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS