ඉන්දියාව සමඟ යුදමය එකඟතාවක්



නවදිල්ලි සහ බෙයිජිං පාලන අතර දේශසීමා අර්බුද වඩාත් තීව්‍ර වෙමින් පවතින අවස්ථාවක ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය සංවේදී චන්ද්‍රිකා දත්ත බෙදා ගැනීමේ යුදමය එකඟතාවයකට ඉන්දියාවේ නවදිල්ලියට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් මයික් ඇස්පර් කටයුතු කර තිබේ.

එම යුදමය එකඟතාවට අනුව, මිසයිල, ඩ්‍රෝන ප්‍රහාර සහ අනෙකුත් සතුරු ඉලක්කවලට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමේදී, මෙම චන්ද්‍රිකා දත්ත බෙහෙවින් වැදගත් වනු ඇති බව පැවැසෙයි. ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම කලාපය තුළ චීනයේ බලපෑම් මැඩ පැවැත්වීමට ඇමෙරිකාව දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

ඉන්දියාව හා චීනය අතර පවතින දේශසීමා අර්බුදයට මැදිහත් වී, ආසියානු කලාපයේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව සූදානම් වන බවක් පෙනෙන්න ඇතැයි ද ජගත් දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සමඟ සාකච්ඡා පවත්වද්දී, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පෙම්පේඕ ද ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් හමුවී සාකච්ඡා කළේය. පොම්පේඕ සහ එස්පර් මෙම ඉන්දීය සංචාරයට එක් වී සිටින්නේ, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ජනපති ට්‍රම්ප් නියෝජනය කරමිණි. ඉන්දීය සංචාරය අවසන් කරමින්, පොම්පේඕ සහ එස්පර්, ඊයේ (27) සවස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කළේය. ඒ, මෙරටට පැමිණීමට පෙරාතුවය.

චීනය සමඟ ඇති සබඳතා සම්බන්ධයෙන් දුෂ්කර වුවත්, අවශ්‍ය තීරණ ශ්‍රී ලංකාව ගත යුතු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසා ඇති අතර, චීනය ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමෙන් වළකින ලෙසය. චීන රජය මෙසේ නිවේදනයක් නිකුත් කළේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යැයි ද පැවැසෙයි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS