ඉදිරියේ දී වයිරසය බිහිසුණු වේවි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය ඉදිරියේ දී තවත් බිහිසුණු ස්වරූපයක් ගනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (30) අනතුරු ඇඟවීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ අනතුරු ඇගවීම කළේ එහි ප්‍රධානී ටේ‍රඩෝස් ඇඞ්හැනොම් ගෙබ්‍රියේසිස්, ජිනීවා නුවරදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ජිනීවා නුවරය.

මේ වනවිට රටවල් බොහොමයක් පනවා තිබූ තහංචි ලිහිල් කරමින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කනස්සල්ලට හේතුවක් වී ඇත.

‘වයිරසය පාලනය කිරීමයි කළ යුත්තේ. එසේ කිරීමට නම් පරීක්ෂණ කළ යුතුයි. ආසාදිතයන් සහ එම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් හඳුනා ගැනීම කළ යුතුයි. ඔවුන් හුදෙකලා කළ යුතුයි. නිරෝධායනය කළ යුතුයි. වයිරසය පැරදිය හැකි වන්නේත් වයිරසය සමඟ ජීවත් වීමට අප හුරු විය යුත්තේත් මේ විදියටයි.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, පසුගිය දෙසැම්බරයේ ය. මාස 6 ක් ගත වෙද්දී වයිරසය වේගයෙන් ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 200 කට වඩා වැඩි ප්‍රමාණයකට පැතිරිණි.

අද වනවිට ලොව පුරා වයිරස ආසාදිතයන් ගණන මිලියන 10 පසු කර ඇති අතර මරණ 5,00,000 පසු කර තිබේ.

චීනයෙන් ආරම්භ වුණු වයිරසයේ නව කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාව සහ ලතින් ඇමෙරිකාවය.

ආසියානු රටවලින් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වෙමින් පවතින්නේ ඉන්දියාවෙනි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් ඉන්දියාවේ විශේෂ රෝහලක් ද ඉදි කරන බව වාර්තා වෙයි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් ආසියාවේ ඉදිවන පළමු විශාලතම රෝහල වනු ඇත්තේ මෙය වනු ඇතැයි ද පැවැසෙයි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS