ඉතාලි පාසල් බසයක් පැහැර ගැනේ



සිසුන් 51 දෙනකු සහ ගුරුවරියක ද සමඟ ඉතාලියේ මිලාන් නුවර පාසල් බස් රියක්  එම බස් රියේ රියැදුරා විසින් පැහැර ගනු ලැබිණි.

පැහැර ගැනීම කළ රියැදුරා 47 හැවිරිදි ඉතාලි ජාතික ඔසෙයිනෝ සයි නමැත්තා යැයි මිලාන් පොලිසිය හඳුනාගෙන ඇත. මේ පුද්ගලයා 2004 දී සෙනගාලයේ සිට ඉතාලියට පැමිණ පුරවැසිභාවය ලැබූවෙකි. සෙනගාලය යනු අප්‍රිකා රාජ්‍යයකි.
ඔසෙයිනෝ සයි මීට පෙර ද අවස්ථා කිහිපයකදී බීමතින් රිය පදවා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉතාලි ත්‍රස්ත මර්දන ඒකකට පසුව මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

පැහැර ගැනීම සැලවීමත් සමඟ පොලිසිය මඟ හරස් කරමින්, බස් රිය නැවැත්වීමට පියවර ගත් අතර, එම අවස්ථාවේදී රියැදුරු ඔසෙයිනෝ සයි, බස් රියෙන් එළියට පැන බස් රියට ගිනි තැබුවේය. ඒ වනවිට ඔහු බස් රිය පුරා පෙට්‍රල් ඉසිනු ලැබ තිබුණි.

පොලිස් නිලධාරීන් කිහිප දෙනකු කඩා පැන ඔසෙයිනෝ සයි මෙල්ල කර ගනිද්දී, සෙසු පොලිස් නිලධාරීහු පිරිස බස් රියට ඇතුළු වී, වීදුරු කඩා දමමින් එහි සිටි දරු දැරියන් සහ ගුරුවරිය පිටතට ගැනීමට කටයුතු කළහ. බස් රියේ වීදුරු කඩා දරුවන් පිටතට ගත් බව ද වාර්තා වේ. දරුවන්  කඩිනමින් රෝහල් ගත කෙරුණි. දුම් ආඝ්‍රාණ වී සුළු තුවාල ලබා සිටි ඔවුන් කාටවත් බරපතල අනතුරක් සිදු නොවිණි.

පොලිසිය මඟ හරස් කරමින් බස් රිය නැවැත්තූ අවස්ථාවේදී, රියැදුරු ඔසෙයිනෝ සයි කෑ කෝ ගසන්න වී ඇත්තේ, තමන් බස් රිය පැහැර ගත්තේත්, එය ගිනිබත් කර දරු දැරියන් ඝාතනය කරන්නේත් ඉතාලි රජයේ දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීමක් ලෙස කියාය.

ඉතාලියේ පාලක අන්ත දක්ෂිණාංශික පක්ෂය ක්‍රියාත්මක කළ නව සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන්, අප්‍රිකා රටවලින් සහ මැදපෙරදිග රටවලින් බෝට්ටු මාර්ගයෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ට ඉතාලියට පැමැණීමට නොහැකිය. ඉතාලි වරාය සංක්‍රමණික බෝට්ටුවලට ඉඩ නොදෙන බව ද පැවැසෙයි. දිවි පරදුවට තබා යුරෝපා රටවලට බෝට්ටු මාර්ගයෙන් පැමිණෙන සංක්‍රමණිකයෝ බොහෝ දෙනකු මූදට බිලිවෙති. ඔවුන් අතර කාන්තාවන් සහ කුඩා දරුවෝ බොහෝ දෙනෙක් වෙති.

පැහැර ගැනීමට ලක්වුණු බස් රියේ සිටියේ මිලාන් නුවර ‘වයිලාටී දි ක්‍රෙමා’ පාසලේ පංති දෙකක සිසුන්ය. සිසුන් පිරිස ගුරුවරියක ද සමඟ පාසලේ සිට ඊට නුදුරින් පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයක් වෙත යෑමට පාසලේ පාසල් බස් රියකට ගොඩ වී ඇතැයි පැවැසෙයි.

රියැදුරු ඔසෙයිනෝ සයි, පිරිස රැගෙන, ශරීර සුවතා මධ්‍යස්ථානය මඟ හැර, මිලාන් ලිනේට් ගුවන්තොටුපොළ දෙසට බස් රිය ධාවනය කරන්න විය. එම අවස්ථාවේදී ගුරුවරිය සේම දරුවෝ ද තැති ගැනීමට ලක් වූහ. ඔසෙයිනෝ සයි පිහියක් පෙන්වමින් පිරිස බිය ගන්වා ඇත.

එක් දරුවකු ඔහු සතුව තිබූ ජංගම දුරකතනයෙන් සිදුවන දේ සිය මවට දන්වා ඇත. දරුවාගේ මව සිදුවන්නේ කුමක්දැයි මිලාන් පොලිසියට දැනුම් දුන්නේ ඉන්පසුවය. පොලිසිය වහා ක්‍රියාත්මක වී, බස් රිය ගමන් ගනිමින් සිටි මාර්ගය ඉදිරියෙන් හරස් කළේය. වේගයෙන් ධාවනය වන්න වූ බස් රිය පොලිස් රථවල ගැටී නතර විය. පොලිස් නිලධාරීන් බස් රිය වට කළ අවස්ථාවේදී, රියැදුරා කෑ ගසමින් බස් රියෙන් එළියට බැස ඊට ගිනි තැබුවේත් ඉන්පසු පොලිසිය වහා ක්‍රියාත්මක වී දරුවන් සහ ගුරුවරිය බේරා ගත්තේත් එම අවස්ථාවේදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS