ඇෆ්ගන් මැතිවරණය ඇරැඹේ



තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ, ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය අද (20) දැඩි ආරක්ෂාවක් මැද ආරම්භ විය.
ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන 7 ට ආරම්භ වී, සවස 4.30 ට අවසන් විය.

මිලියන නවයක් ඇෆ්ගන් වැසියෝ ඡන්දය ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටියහ. ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ වසර හතරක ප‍්‍රමාදයකින් පසුවය. මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2015 වසරේදීය.

ඇෆ්ගනිස්තානයේ ප‍්‍රාන්ත 33 පුරා, ඡුන්ද මධ්‍යස්ථාන 5,100 ක් පිහිටුවා ඇති අතර, ඒවායේ ඇති ඡන්ද පොළ ගණන 21,000 ක් යැයි ඇෆ්ගන් මැතිවරණ බලධාරීහු පෙන්වා දී තිබුණාහ.

උත්තර මන්තී‍්‍ර මණ්ඩලය ආසන 102 කින් සමන්විත වන අතර, පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන 250 කි. උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ සාමාජිකයන් 102 ගෙන්, 68 දෙනකු පළාත් සහ දිස්ති‍්‍රක් පාලන මණ්ඩලවලින් තෝරා ගැනෙයි. ඉතිරි 34 දෙනා ඇෆ්ගන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ.

පහළ මන්තී‍්‍ර මණ්ඩලය හෙවත් නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට සාමාජාකයන් තෝරා ගැනීම ජනතා ඡුන්දයෙන් සිදුවෙයි. එයින් ආසන 10 ක් කූචික් නමැති අහිකුණ්ඨක සුළු ජාතිකයන් වෙනුවෙන් වෙන් වී ඇත. තවත් ආසන 68 ක් කාන්තා නියෝජනය වෙනුවෙනි. එක් පළාතකින් එක් කාන්තා නියෝජනයක් අපේක්ෂා කෙරේ. තවත් එක් ආසනයක් ශීක් සහ හින්දු ජනතාව වෙනුවෙන් වෙන්ව පවතී.

2001 වසරේ තලේබාන් පාලනය ඇමෙරිකාව ඇතුළු නේටෝ සංවිධානය විසින් පෙරළ දැමීමෙන් පසුආරම්භ වුණු ඇෆ්ගන් යුද්ධයත්, යුද්ධයෙන් රට අවස්ථාවර වීමෙන් පසු පැවැත්වෙන තෙවැනි පාර්ලිමේන්තු මැතිවරණය මෙය යැයි පැවැසෙයි.
2001 වසරේ දී, ඇමෙරිකාවට අල් කයිඩා සංවිධානය පහර දුන්නේය. පහර දීම කළේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ගේ උපදෙස් පරිදිය. ප‍්‍රහාරයෙන් පසු ඔසාමා බින් ලාඞ්න් සහ අල් කයිඩා සාමාජිකයන් ආරක්ෂාව ලැබ සිටියේ ඇෆ්ගනිස්තානයේය.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් ඔසාමා බින් ලාඞ්න් ඇමෙරිකාවට දීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව, ඇමෙරිකාව සෙසු නේටෝ සාමාජික රටවල ද සහාය ඇතිව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අතර, තලේබාන් සාමාජිකයන් අවි ගෙන විදෙස් හමුදාවලට එරෙහිව සටන් ආරම්භ කළේය.

2001 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්තානයේ රජයට බටහිර සහාය සහ අනුග‍්‍රහය හිමිවෙයි. වර්තමානයේ ඇෆ්ගන් ජනාධිපති ලෙස කටයුතු කරන අෂ්රාෆ් ඝානී සහ ඔහුගේ රජයට සහ බටහිර ආධාර හිමිවෙයි.

බටහිර රටවලට අවශ්‍ය පරිදි රටේ මැතිවරණ පැවැත්වීමට තලේබාන්වරුන්ගේ විරෝධයට හේතුවක් වී ඇත. අද වනවිට ඉරාකයෙන් සහ සිරියාවෙන් මතුවුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානය ද ඇෆ්ගන් තලේබාන් සමඟ අත්වැල් බැඳගෙන සිටී. පෙරේදා ආරම්භ වුණු මැතිවරණය කඩාකප්පල් කරන බවට ත‍්‍රස්තයන් අනතුරු ඇඟවීම් තිබුණේ එහෙයිනි.

බටහිර සහාය ලබන ඇෆ්ගන් රජය කියා සිටියේ, දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් කි‍්‍රයාත්මක කිරීමට මෙම මැතිවරණය වේදිකාවක් කර ගන්නා බවය. රටේ පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සොයමින්, තලේබාන් ත‍්‍රස්තවාදීන් සමඟ සාම සාකච්ඡ පැවැත්වීමට ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අවස්ථා කිහිපයකදී උත්සාහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක විය.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය, කටාර් රාජ්‍යයේ දෝහා නුවර, ‘සාම කාර්යාලය’ යන නමින් කාර්යාලයක් පිහිටුවා ඇත. තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතර පසුගිය දා සාකච්ඡ කිහිපයක් පැවැත්විණි. ඒ, පවතින අර්බුදයට දේශපාලනික විසඳුම් සෙවීම සඳහාය. එම සාකච්ඡ සාර්ථක වූයේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතක් කිසිවක් වාර්තා වී නැත.

මැතිරණයට පෙර, ඉකුත් සැප්තැම්බරයේ පළාත් රැුසක මැතිවරණ රැුලිවලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැවීමට ද තලේබාන් සංවිධානය පියවර ගත්තේය. එම බෝම්බ පිපිරීම්වලින් සිය ගණනක් ජීවිතක්ෂයට පත්  වූහ. ඒ අතර, මැතිවරණ අපේක්ෂකයෝ බොහෝ දෙනෙක් ද වූහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS