ඇෆ්ගන් මැතිවරණ කාර්යාලවලට බෝම්බ ප්‍රහාර



ඇෆ්ගනිස්තානයේ ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාල කිහිපයකට ඊයේ (23) එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 63 දෙනකු ජීවිතක්ෂයට පත් වූහ.

තුවාල ලැබූ ගණන සියයකට ආසන්න යැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛයාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

කාබුල් අගනුවර සහ බගලාන් ප්‍රාන්තයේ මැතිවරණ කාර්යාලවලට මෙසේ බෝම්බ ප්‍රහාර එල්ල වී ඇතැයි ඇෆ්ගන් රජය පවසා ඇත.

කාබුල් කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරයෙන් පමණක් මියගිය ගණන 57 කි. ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පමණක් නොව, තලේබාන් ත්‍රස්තවාදීන් ද ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි. ඇතැම් තලේබාන් කල්ලි, ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් සමඟ හවුල් වී සිටින බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS