ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් නව දෙනෙක් මරුට



ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබීම් තුනක් සිදුවිය.

වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන හයකි.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ‘මොන්ටෙරි පාර්ක්’ නගරයේ චීන ජාතිකයන්ගේ අලුත් අවුරුදු සැමරුම් උත්සවයට එල්ල වුණු වෙඩි තැබීමේ සිද්ධියෙන් 11 දෙනකු මියගොස් පැය 48 යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම් සිදුවුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම් තුනෙන් දෙකක් සිදුවූයේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මූන් බේ නගරයේ ගොවිපළවල් දෙකකය. ඉන් හත් දෙනකු මියගොස් තුන් දෙනකු බරපතල තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා කළේය. වෙඩි තැබීම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ශාන්ත මතෙයෝ ෂෙරිෆ් කාර්යාලය සමත් වූ බව ද පැවැසෙයි.

තෙවැනි වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වන්නේ අයෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් ප්‍රාන්තයෙනි. සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගියේ මෙම වෙඩි තැබීමෙනි. මියගිය සිසුන් දෙදෙනා 16 ත් 18 ත් වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසා ඇත.

තුවාල ලැබූ තුන්දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ගෙබ්‍රියෙල් නිම්නයේ, මොන්ටෙරි පාර්ක් නගරයේ, චීන නව අවුරුදු සමරුමකට කඩා වැදී වෙඩි තැබීම් කළේ 72 හැවිරිදි වන හූ කැන් ට්‍රාන් නමැති ඇමෙරිකාවේ වෙසෙන චීන ජාතිකයෙකි. ඔහු වෙඩි තැබීම කළේ පසුගිය සති අන්තයේය.

එම වෙඩි තැබීමෙන්, 10 දෙනකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලැබූහ.

පසුගිය 22 වැනිදා සවස හූ කැන් ට්‍රාන් කොටු කර ගැනීමට පොලිසිය සමත් වූයේ මොන්ටෙරි පාර්ක් නගරයට නිරිත දෙසින් පිහිටි ටොරෙන්ස් නගරයේදීය.

පොලිසිය වට කළ අවස්ථාවේ හූ කැන් ට්‍රාන් ඔහුට අයත් සුදු වෑන් රියක් තුළ වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS