ඇමෙරිකාවේ ජර්සි නුවර වෙඩි හුවමාරුවක්



ඇමෙරිකාවේ නිව්ජර්සි ජනපදයේ ජර්සි නගරයේ සිදුවුණු වෙඩි හුවමාරුවකින් හය දෙනෙක් මියගියහ. මියගිය 6 දෙනා අතර පොලිස් නිලධාරියෙක් සහ සිවිල් වැසියෝ තිදෙනෙක් සිටිති.

වෙඩි හුවමාරුව සිදුවූයේ පොලිස් නිලධාරීන් සහ අපරාධ සැකකරුවන් දෙදෙනකු අතර යැයි ජර්සි නුවර පොලිස් ප්‍රධානී මයිකල් කෙලී පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට කොටු වී ඇත්තේ නගරයේ සුසාන භූමිය අසලදීය. පොලිස් නිලධාරීන්ට වෙඩි තබමින් ඔවුන් දෙදෙනා කොෂර් සුපිරි වෙළෙඳසැල වෙත පැමිණ ඇති අතර, පොලිස් නිලධාරීන්ට ඔවුන් ලුහුබැඳ තිබේ.

පැය ගණනක් නගර මධ්‍යයේ පැවැති වෙඩි හුවමාරු වෙද්දී, නගර වැසියන් ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය යුහුසුළු වූ බව පැවැසෙයි. පොලිසිය කළ වෙඩි තැබීම්වලින් අපරාධ සැකකරුවන් දෙදෙනා මරා දැමීමට හැකිවුණු බව වාර්තා වේ. මියගියේ පොලිසිය සහ අරපාධකරුවන් දෙදෙනාගේ වෙඩි හුවමාරුවට මැදි වුණු සිවිල් වැසියන් තිදෙනෙකි.

ජර්සි නුවර සිදුවුණු වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් තමන්ට විස්තර දැනගන්න ලැබුණු බවත් සිද්ධිය ඇසීමෙන් තමන් කම්පනයට පත් වුණු බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

ජර්සි නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS