ඇමෙරිකාවට ‘දොර ඇරලයි’ තියෙන්නේ



නවතා දැමුණු සාකච්ඡා යළි පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වන්නේ නම්, ඒ සඳහා දොර විවර වී ඇතැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසයි.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය වෙනුවෙන්, ඇමෙරිකාව සමඟ සාම සාකච්ඡා සඳහා සහභාගී වුණු තලේබාන් නියෝජිත ෂෙර් මොහොමද් අබ්බාස් ස්ටැනික්සායි ය. මොහු මේ බව කියා සිටියේ බී.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

වසර 18 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්, ඇෆ්ගනිස්තානයට සාමය උදා කළ හැක්කේ සාම සාකච්ඡා හරහා පමණක් බවත් තලේබාන් නියෝජිතයා පැහැදිලි කර ඇත.

ඇෆ්ගන් සාම කතා පසුගිය මාස කිහිපය මුළුල්ලේ සාර්ථකව පැවැත්විණි. සාම කතා අවසන් අදියරේ දී තලේබාන් නියෝජිතයන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇමෙරිකාවට ගෙන්වා ගෙන අවසන් විසඳුමකට එලැඹීමට ජනාධිපති ට්‍රම්ප් සියල්ල සූදානම් කර තිබුණි.

කෙසේ නමුත් අවසන් මොහොතේ තලේබාන් සංවිධානයේ කැරැලිකාර කණ්ඩායම් කාබුල් අගනුවර බෝම්බ පුපුරුවන්න පටන් ගත්තේය. ඒ අනුව සාම කතා අවසන් යැයි ජනාධිපති ට්‍රම්ප් තීරණය කළේය.

දෝහාහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS