ඇමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක්



වසර 99 කට පසු උතුරු ඇමෙරිකානු මහද්වීපයේ වැසියන්ට අද (21) පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස්වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

සූර්ය ග්‍රහණයක් යනු හිරු සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීමයි. සඳට හිරු වැසී යද්දී සූර්ය ග්‍රහණය දිස්වෙයි. උතුරු ඇමෙරිකා මහද්වීපයේ රටවල වැසියන්ට මීට පෙර මේ අයුරින් පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස් වූයේ 1918 වසරේ ජූනි 8 වැනිදාය.

සූර්ය ග්‍රහණය ආරම්භ වීමට නියමිතව ඇ්තතේ ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 9 ටය. ඇමෙරිකාවේ ජනපද 14 කට මෙම පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වනු ඇත. සෙසු ප්‍රාන්තවලට දිස්වනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පැහැදිලි කරයි.

ඇමෙරිකානුවන් මෙම දුර්ලභ සන්සිද්ධිය දැක ගැනීමට ලකලෑස්ති වී සිටින බව එරට පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකානුවන් මෙම පූර්ණ සූර්ය ග්‍රහණය නම් කර ඇත්තේ ‘මහා ඇමෙරිකන් සූර්ය ග්‍රහණය’ කියාය. වසර 100 කට ආසන්න කාලයකින් පසු දකින්න ලැබෙන මෙම සූර්ය ග්‍රහණය නැරැඹීමට විදේශිකයෝ රැසක් ඇමෙරිකාවට පැමිණ ඇති බව ද වාර්තා වේ.

සූර්ය ග්‍රහණය නිමිති කොට ගෙන විවාහ මංගල උත්සව ද ඇමෙරිකාව පුරා පැවැත්වීමට නියමිතය. ඊට අමතරව, සූර්ය ග්‍රහණයට සමගාමීව ප්‍රධාන නගර කීපයක සංගීත ප්‍රසංග ද පැවැත්වෙයි.

යළිත් මේ අයුරින් පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇති වන්නේ 2019 වසරේ ජූලි දෙවැනිදා යැයි ද නාසා විද්‍යාඥයෝ කියති. එම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ දකුණු පැසිෆික් සාගර කලාපීය රටවලටය. චිලී සහ ආජන්ටිනා යන රටවලට පැහැදිලිව එම සූර්ය ග්‍රහණය දිස්වනු ඇතැයි ද පැවැසෙයි.

මීට අමතරව, මුළුමහත් ඇමෙරිකාවම අඳුරු කරමින් යළි පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස්වනු ඇත්තේ 2024 වසරේ අප්‍රේල් අට වැනිදා බවත් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සිට මේන් ජනපදය තෙක් එය පැහැදිලිව දිස්වනු ඇති බවත් නාසා ආයතනය වැඩි දුරටත් අනාවැකි පළ කර තිබේ.

(ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS